උණුසුම් පුවත්

එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි – හිටපු මන්ත්‍රීවරයා මියයන විට 69 වියේ පසුවිය

එම්.කේ. ශිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 69 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා ඊයේ (14) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එම්.කේ. ශිවාජිලිංගම් මහතාගේ දේශපාලන ගමන සහ අවසන් කටයුතු පිළිබඳ තොරතුරු

පසුගිය කාලයේදී රෝගී තත්ත්වයකින් පසුවූ ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, ඔහු දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ දේශපාලනඥයෙකි.

වඩමරච්චි ප්‍රදේශයේ වැල්වැටිතුරෙයි හි උපත ලැබූ ශිවාජිලිංගම් මහතා සිය දේශපාලන ජීවිතය ආරම්භ කරනු ලැබුවේ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (TELO) හරහාය.

2001 සහ 2004 වසරවල පැවති මහ මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය යටතේ යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කළ ඒ මහතා එම මැතිවරණ දෙකෙන්ම ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

ඊට අමතරව 2010 වසරේ පැවති ජනාධිපතිවරණයටද ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය. 2013 වසරේ පැවති උතුරු පළාත් සභා මැතිවරණයෙන් තේරී පත්වී පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.

යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පැවති විරෝධතා සහ උපවාස ඇතුළු ජනතා ක්‍රියාකාරකම්වලදීද ශිවාජිලිංගම් මහතා මූලිකත්වය ගෙන කටයුතු කළ අයෙකි. එම ප්‍රදේශවල ජනතාව මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන්ද ඔහු නිරන්තරයෙන් පෙනී සිටියේය.

එමෙන්ම දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ඒකාබද්ධ කරමින් දෙමළ ජාතික සන්ධානය පිහිටුවීමේ කටයුතුවලටද ඔහු සක්‍රීය දායකත්වයක් ලබාදී තිබේ.

අභාවප්‍රාප්ත එම්.කේ. ශිවාජිලිංගම් මහතාගේ අවසන් කටයුතු යාපනයේ වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී සිදුකිරීමට නියමිත බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button