
ගෆූර් මාමාට වසර 12ක සිරදඬුවමක් – ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තීන්දුව
ගෆූර් මාමාට වසර 12ක සිරදඬුවමක්
වනාතවිල්ලුව ලැක්ටෝවත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුවේ තුන්වන විත්තිකරු වන මොහොමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ හෙවත් ‘ගෆූර් මාමා’ නමැත්තාට වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (28) නියෝග කළේය.
ගෆූර් මාමාට වසර 12ක සිරදඬුවමක් නියම වන්නේ ලැක්ටෝවත්ත නඩුවේ අධිචෝදනා පහකට වරද පිළිගැනීමෙන් පසුවයි
ලැක්ටෝවත්ත ප්‍රදේශයේ ඉඩමක පුපුරණ ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය රැස් කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේදී විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිචෝදනා පහකට ඔහු වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.
ලාල් රණසිංහ බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල එක් එක් චෝදනාව සඳහා වසර 12 බැගින් සිරදඬුවම් නියම කර තිබේ. එම දඬුවම් එකවර ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇති බැවින් ගෙවිය යුතු සමස්ත සිරදඬුවම් කාලය වසර 12කි.
කෙසේ වෙතත්, විත්තිකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සහ රැඳවුම් නියෝග යටතේ ගතකර ඇති වසර හතහමාරක කාලය සිරදඬුවමෙන් අඩු කිරීමට ද අධිකරණය නියෝග කළේය. ඒ අනුව, ඔහුට තවත් වසර හතරහමාරක පමණ කාලයක් සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව අධිකරණයේදී සඳහන් විය.
විත්තිකරු වරද පිළිගෙන නඩු විභාගය තවදුරටත් දීර්ඝ නොකිරීම, ඔහු 63 හැවිරිදි වියේ පසුවීම සහ අනෙකුත් විශේෂ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම දඬුවම නියම කළ බව විනිසුරු මඩුල්ල පැවසීය.
මේ අතර, නඩුවේ හයවන විත්තිකරු වන මොහොමඩ් රමීස් මොහොමඩ් සාජිත් හෙවත් ‘සාජිත් මවුලවී’ නමැත්තා ද තමන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගැනීම පිළිබඳ සිය ස්ථාවරය දැනුම් දීමට කාලය ඉල්ලා තිබේ.
ඒ අනුව, ඔහුගේ ස්ථාවරය විමසීම සඳහා නඩුව හෙට (29) පෙරවරු 8ට යළි කැඳවීමට අධිකරණය තීරණය කළේය. එදින පෙරවරු 7.45 වන විට ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබේ.
තවද, ගෆූර් මාමාට එරෙහිව කෑගල්ල සහ මඩකළපුව මහාධිකරණවල තවත් නඩු දෙකක් පවතින බැවින්, එම නඩු සඳහා ඔහු ඉදිරිපත් කරන අවස්ථාවලදී විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස ද විනිසුරු මඩුල්ල නියෝග කළේය.
මෙම නඩුවේදී විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව අධිචෝදනා 13ක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබුණි. ඉන් විත්තිකරුවන් පස්දෙනෙකු මේ වන විට අදාළ චෝදනාවලට වරද පිළිගෙන දඬුවම් ලබා ඇති බව අධිකරණයේදී සඳහන් විය.
ඒ අනුව, ඉතිරි හයවන විත්තිකරුගේ ස්ථාවරය දැනගැනීම සඳහා ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය.



