උණුසුම් පුවත්

හෝමාගම පොලිස් සිරමැදිරියේ මරණය සම්බන්ධයෙන් OIC ඇතුළු තිදෙනෙකුට කැඳවීමක්

හෝමාගම පොලිස් සිරමැදිරියේ මරණය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

හෝමාගම පොලිස් සිරමැදිරියේ මරණය ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

හෙට (29) දිනයේදී මෙම කැඳවීම සිදුකර ඇති බව එම කොමිෂන් සභාවේ කොමසාරිස් නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

අදාළ මරණය සම්බන්ධයෙන් කොමිෂන් සභාව සිදුකරන විමර්ශනයේදී මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

මේ අතර, සිද්ධිය පිළිබඳව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය ද වෙනම විමර්ශනයක් සිදුකරයි. එහිදී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ, දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ තවත් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබුණි.

එම නිලධාරීන්ට අමතරව, සිද්ධිය වූ දිනයේ රාජකාරියේ නිරතව සිටි තවත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුගෙන් ද විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන් වේ.

මියගිය පුද්ගලයාගේ නැගණියගෙන් ද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එමෙන්ම, මියගිය පුද්ගලයා සමඟ අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවත් සැකකරුවෙකුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button