
උණුසුම් පුවත්
කළුතර බන්ධනාගාරයේ පාර්සල් සිද්ධියකින් පසු අහසට වෙඩි
කළුතර බන්ධනාගාරයේ පාර්සල් සිද්ධියක් හේතුවෙන් අද (21) පස්වරුවේ ආරක්ෂක නිලධාරීන් අහසට වෙඩි තබා තිබේ. බන්ධනාගාරයෙන් පිටත සිට පැමිණි පුද්ගලයෙකු එහි ඇතුළට පාර්සල් කිහිපයක් විසි කිරීමත් සමඟ මෙම සිදුවීම වාර්තා වී ඇත.
බන්ධනාගාරය ආසන්නයට පැමිණි පුද්ගලයා පාර්සල් ඇතුළට විසි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, ආරක්ෂක කුලුනුවල රාජකාරියේ නිරත නිලධාරීන් ඔහුට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.
එහෙත් ඔහු පාර්සල් බන්ධනාගාරය තුළට විසි කිරීමත් සමඟ නිලධාරීන් අහසට වෙඩි තබා ඇත. එම පුද්ගලයා විසි කළ පාර්සල් දෙකක් බන්ධනාගාරය තුළට පතිත වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් පසු අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් පලාගොස් තිබේ. බන්ධනාගාරය තුළ තිබී සොයාගත් පාර්සල්වල කුඩු සහ ගංජා තිබූ බවද වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.



