
තිරිඟු පිටි වැඩි මිලට විකිණීමක් සිදුවුවහොත් නීතිමය පියවර
තිරිඟු පිටි වැඩි මිලට විකිණීම වැළැක්වීම සඳහා දිවයින පුරා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. අදාළ අධිකාරියේ පූර්ව දැනුම්දීමකින් හෝ එකඟතාවකින් තොරව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන තිබේ.
අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, තිරිඟු පිටි මිල ඉහළ දැමීම පිළිබඳව තම අධිකාරියට දැනගැනීමට ලැබුණේ මාධ්‍ය වාර්තා ඔස්සේ බවයි. ඒ අනුව මිල ඉහළ දැමීමට හේතු සහ වැඩි කළ මුදල පිළිබඳ තොරතුරු නිෂ්පාදන ආයතනවලින් විමසා ඇති බවද ඔහු පැවසීය.
ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
“තිරිඟු පිටි මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති බවට වූ පුවතක් මාධ්‍ය නිවේදනය කළා. නමුත් මේ සම්බන්ධව පාරිභෝක අධිකාරිය හැටියට අපව දැනුම්වත් කිරීමක් සිදුවෙලා තිබ්බේ නෑ.**
අපි දැනගත්තෙත් මාධ්‍ය මගින් ප්‍රචාරය වූවාට පසුව. ඒ දැනගත් විගසම අපි තිරිඟු පිටි නිෂ්පාදනය කරන ආයතනවලට ඔවුන්ගේ මිල වැඩි කිරීමට හේතුව සහ මිල වැඩි කරා නම් ඒ කොපමණ මුදලකින් වැඩි කරාද කියන තොරතුරු විමසීමක් කලා. මේ වනවිට ඊමේල් පණිවුඩ මගින් අපි ඔවුන්ගෙන් තොරතුරු විමසීමක් කර තිබෙන්නේ.
කෙසේ නමුත් තිරිඟු පිට මිල වැඩි කිරීමට එරෙහිව අප අද දිවයින පුරා වැටලීම් සිදු කරනවා. වැඩි මිලට පිටි අලෙවි කරන්නන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. මේ සම්බන්ධව ආයතන වශයෙන් එවන් ලද පිළිතුරු අනුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
අපගේ පනත අනුව තිරිඳු පිටි නිශ්චිත භාණ්ඩයක් හැටියට හඳුන්වලා දී තියෙනවා. ඒ අනුව පිටි මිල සංශෝධනය කරනවා නම් පාරිභෝග කටයුතු අධිකාරිය දැනුවත් කරලා ඔවුන් අපත් සමග සාකච්ඡා කරලා යම් එකඟතාවකට ඇවිල්ලා තමයි මිල ඉහළ දැමීමක් සිදුකළ යුතු වන්නේ.
මේ දක්වා එලෙස සාකච්ඡාවක් හෝ අපව දැනුම්වත්කිරීමක් හෝ සිදුවෙලා නැහැ. ඒ නිසා අප ඔවුන්ගෙන් නියමානුකූලව විමසීමක් කරලා අවශ්‍ය නීතිමය කටයුතු කරන්න මැදිහත් වෙනවා.
වැඩිමලට විකුණන අයට විරුද්ධව අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා” යැයි පැවසීය.



