ප්‍රධාන පුවත්

නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට

නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් මඟින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය සහ එම කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ විශේෂ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, විදේශීය වෙළෙඳ නෞකාවල ආරක්ෂාව සඳහා ආරක්ෂක කණ්ඩායම් යොදවන පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව පහසුකම් සපයන ආකාරය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක් ඊයේ (20) සිදුකර ඇත. එම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා ද එක්විය.

මෙහිදී ගාල්ල පෙට්ටිගලවත්ත ප්‍රදේශයේ පිහිටි අවි හා උපාංග ගබඩා සංකීර්ණයේ මෙහෙයුම් කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.

විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගතව වෙළෙඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ මෙහෙයුම් නාවික හමුදාව විසින් ස්වාධීනව ආරම්භ කර ඇත්තේ 2025 ඔක්තෝබර් 03 වැනිදාය.

නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලින් ඩොලර් මිලියන 3.32ක ආදායමක්

එම මෙහෙයුම් ආරම්භ කර වසරක කාලයක් තුළදී සාර්ථක සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීම මඟින් අමෙරිකානු ඩොලර් 3,320,000කට අධික විදේශ විනිමය ආදායමක් රටට උපයා දීමට නාවික හමුදාව සමත්ව තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මඟින් මේ වන විට දේශීය නියෝජිතයන් 10 දෙනෙකු හරහා විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් 28කට අවශ්‍ය පහසුකම් සහ සේවාවන් සපයනු ලබයි.

නිරීක්ෂණ චාරිකාවේදී අදාළ මෙහෙයුම්වල නාවික හමුදාව ඉටුකරන කාර්යභාරය සහ මේ දක්වා අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු විමසා ඇත.

කෙටි කාලයක් තුළ මෙහෙයුම් රැසක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට නාවික හමුදාව ලබාදුන් දායකත්වය අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී ද මෙම කටයුතු වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button