ප්‍රධාන පුවත්

අංක තහඩු හා රියදුරු බලපත්‍ර ප්‍රමාදය ගැන විමර්ශනයක්

අංක තහඩු හා රියදුරු බලපත්‍ර ප්‍රමාදය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර එහි හේතු පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇත.

අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපා ඇති පරිපාලන හා තාක්ෂණික කරුණු, ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් දින 45ක් තුළ ඉදිරිපත් කරන ලෙස කාරක සභාව දැනුම් දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී සඳහන් කර ඇත්තේ 2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබාදීම ආරම්භ කර ඇති බවය.

මේ අතර, රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳවද කාරක සභාවේදී සාකච්ඡා කර ඇත. මේ වනවිට බලපත්‍ර 678,000ක් පමණ මුද්‍රණය කිරීමට ඉතිරිව ඇති අතර, දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණ බව නිලධාරීන් පවසා තිබේ.

මෙම පසුබෑම කඩිනමින් අවම කිරීම සඳහා ඔක්තෝබර් 15 වනවිට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කර ඇත.

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කර තිබේ.

එමෙන්ම දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව, පවතින පුරප්පාඩු, ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම සහ ඉදිරියේදී මෙවැනි අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන්ද කාරක සභාව කරුණු විමසා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button