
රතු ලූනු සහ බිත්තර මිල සතියක් තුළ ඉහළට – එළවළු කිහිපයක මිල පහළට
රතු ලූනු සහ බිත්තර මිල සතියක් තුළ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එළවළු වර්ග කිහිපයක මිල පහළ බැස තිබේ.
රතු ලූනු සහ බිත්තර මිල ඉහළ යද්දී බෝංචි, ගෝවා සහ තක්කාලි මිල පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තා අනුව පසුගිය සතියට සාපේක්ෂව මෙරට වෙළෙඳපොළ කිහිපයක මෙම මිල වෙනස්වීම් වාර්තා වී ඇත.
ඒ අනුව පිටකොටුව වෙළෙඳපොළේ දේශීය රතු ලූනු කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල නොවැම්බර් 13 වැනිදායින් අවසන් වූ සතියේදී රුපියල් 527.60ක් ලෙස පැවති අතර, නොවැම්බර් 20 වැනිදායින් අවසන් වූ සතිය වන විට එය රුපියල් 675ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමඟින් සතියක් තුළ රතු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 147.40කින් ඉහළ ගොස් ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 27.9ක වැඩිවීමකි.
මේ අතර, පිටකොටුව වෙළෙඳපොළේ සුදු බිත්තරයක සාමාන්‍ය සිල්ලර මිල ද රුපියල් 37.68 සිට රුපියල් 41.75 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 4.07කින් හෙවත් සියයට 10.8කින් පමණ වැඩි වී තිබේ.
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ද රතු ලූනු මිල ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. එහි රතු ලූනු කිලෝග්‍රෑමයක මිල රුපියල් 700 සිට රුපියල් 820 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රුපියල් 120ක හෙවත් සියයට 17.1ක වැඩිවීමකි.
එම වෙළෙඳ මධ්‍යස්ථානයේ සුදු බිත්තරයක මිල ද රුපියල් 39.60 සිට රුපියල් 42 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
### එළවළු මිල පහළ යාමක්
කෙසේ වෙතත්, මෙම කාලසීමාව තුළ පිටකොටුව වෙළෙඳපොළේ එළවළු වර්ග කිහිපයක මිල අඩු වී තිබීම ද විශේෂත්වයකි.
ඒ අනුව බෝංචි කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 580 සිට රුපියල් 560 දක්වා පහළ බැස තිබේ. ගෝවා කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 720 සිට රුපියල් 700 දක්වා අඩු වී ඇත.
එමෙන්ම තක්කාලි කිලෝග්‍රෑමයක සාමාන්‍ය සිල්ලර මිල රුපියල් 680 සිට රුපියල් 650 දක්වා පහළ ගොස් තිබේ.
මෙම මිල වෙනස්වීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවල සඳහන් කර ඇත.



