ප්‍රධාන පුවත්

අයවැයට එරෙහි රාජ්‍ය සේවක විරෝධතාව හෙට – ගුරු හා සෞඛ්‍ය සේවක වැඩ වර්ජන අනතුරු ඇඟවීමක්

2027 අයවැයට එරෙහිව රාජ්‍ය සේවක වෘත්තීය සමිති රැසක් හෙට (23) දිවයින පුරා ජාතික විරෝධතාවක් පැවැත්වීමට සූදානම් වෙයි.

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවකයන් ඉදිරිපත් කළ ඉල්ලීම් සඳහා ප්‍රමාණවත් විසඳුම් ලබාදී නොමැති බවට චෝදනා කරමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සංවිධානය කර තිබේ. ඒ අනුව, විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය සේවකයන් හෙට දිනයේදී රට පුරා විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ අතර, ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති ද හෙට සිට අයවැයට එරෙහි විරෝධතා ක්‍රියාමාර්ගවලට එක්වීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් මහතා පැවසුවේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කරමින් ජාතික කළු විරෝධතාවක් ක්‍රියාත්මක කරන බවයි.

ආණ්ඩුවේ ප්‍රතිචාරය මත මෙම විරෝධතා ඉදිරි සතියේදී වැඩ වර්ජනයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බව ද ඔහු සඳහන් කළේය. ගුරු හා විදුහල්පති ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් නොලැබුණහොත් නොවැම්බර් 30 වැනිදා වන විට පාසල් පද්ධතිය වසා දැමීමට සිදුවිය හැකි බව ද ඒ මහතා අනතුරු ඇඟවීය.

එහිදී අදහස් දැක්වූ අමිල සඳරුවන් මහතා,

”අයවැයට එරෙහිව මේ වෙනකොට ගුරු, විදුහල්පතිවරු වගේම රාජ්‍ය සේවකයෝ තමන්ගේ ප්‍රතිචාරය දක්වන්න පටන් අරන් තියෙනවා. ගුරුවරු සහ විදුහල්පතිවරුත් ක්‍රියාමාර්ග ආරම්භ කරනවා. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රතිචාරය මත ඊළඟ සතිය බොහෝ විට වර්ජනයකට යෑමට නියමිතව තිබෙනවා. ඒ වගේම තමයි මේ සියල්ල දිනා ගැනීම සඳහා ගුරුවරු, විදුහල්පතිවරු සමස්ත අධ්‍යාපන පද්ධතිය සමස්ත රාජ්‍ය සේවය සමඟ ජාතික විරෝධතාවය 23 වැනිදා අපි ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා ගුරුවරු, විදුහල්පතිවරු කළු ඇඳන් සේවයට වාර්තා කිරීම, ජාතික කළු විරෝධතාවය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ආණ්ඩුවට අපි කියනවා, ප්‍රකාශයට පත් කරේ 23 වැනිදා ජාතික විරෝධතාවය. හැබැයි ආණ්ඩුව ඒකට දක්වන ප්‍රතිචාරය මත ඒක ඊළඟ සතිය වෙනකොට වර්ජනයක් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. ආණ්ඩුව උත්තර දෙන්න සූදානම් නැත්නම් අකමැත්තෙන් වුවත් ගුරුවරු සහ විදුහල්පතිවරු විදියට පාසල් පද්ධතිය 30 වැනිදා වහන්න සිද්ධ වෙනවා.”

මේ අතර, සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති ද හෙට පැවැත්වෙන ජාතික විරෝධතාවට සහභාගී වීමට එකඟතාව පළ කර තිබේ.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමියන් සඳහන් කළේ දිවයින පුරා රෝහල්වල සහායක කාර්ය මණ්ඩල ඇතුළු සෞඛ්‍ය සේවකයන් මෙම විරෝධතාවට එක්වන බවයි.

ඒ අනුව හෙට දිනයේදී රට පුරා රෝහල් සහ රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට නියමිත අතර, නොවැම්බර් 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ද සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති තීරණය කර ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි,

”හරිම නිශ්චිතව අපි කියන්න කැමතියි, නොවැම්බර් මාසයේ 23 වැනිදා රාජ්‍ය සේවකයන් ඇතුළු මේ රටේ වැඩ කරන පන්තිය මේ කැඳවලා තියෙන විරෝධතා උද්ඝෝෂණයට, ජාතික විරෝධතා දිනයට මේ රටේ සියලුම රෝහල්වල රෝහල් සහායක කාර්ය මණ්ඩලය මේ ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙන්න මේ වෙනකොට අනුමැතිය පළ කරලා තියෙන්නේ. ඒ නිසා අපි 23 වැනිදා රටපුරා රෝහල් ඉදිරිපිට, ආයතන ඉදිරිපිට අපි අපේ විරෝධතාවය මේ ආණ්ඩුවට ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි නොවැම්බර් මාසයේ 30 වැනිදා එක්දින වැඩ වර්ජනයක් කරන්න මේ වෙනකොට අපේ එකඟතාවයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රියාමාර්ගයේදී මේ වෙනකොට රෝහල් සහාය කාර්ය මණ්ඩලයට අදාළ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධ කර ගනිමින්, ආණ්ඩුවේ හැර සියලු දෙනා මේ වෙනකොට එකඟතාවය පළ කරමින් ඉන්නේ 30 වැනිදා වැඩ වර්ජනය සම්බන්ධයෙන්”

මේ අතර, හෙට පැවැත්වීමට නියමිත රාජ්‍ය සේවක විරෝධතාවට කම්කරු අරගල මධ්‍යස්ථානය ද සහාය ලබාදෙන බව එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේය.

වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්වලට සිදුවන බලපෑම්වලට එරෙහිව ඉදිරි සති දෙක තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක් සංවිධානය කර ඇති බව ද ඔහු පැවසීය.

ඒ අනුව, හෙට දිනයේදී රාජ්‍ය ආයතන ඇතුළු ආයතන රැසක් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටත්, නොවැම්බර් 30 වැනිදා ඇතැම් ක්ෂේත්‍රවල එක්දින වැඩ වර්ජන සහ තවත් ක්ෂේත්‍රවල දින දෙකක වැඩ වර්ජන ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර තිබේ.

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මීටත් වඩා පුළුල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා වැඩ කරන ජනතාව පෙළගැස්වීමට සූදානම් බව ද දුමින්ද නාගමුව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා,

”ඉදිරි සති දෙක තුළ වැඩ කරන පන්තියේ ඉතාම ප්‍රබල ක්‍රියාමාර්ග ගණනාවක් සංවිධානය කරලා තියෙනවා මේ ජනතාවට කරමින් ඉන්න අසාධාරණයේ සහ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් පාවා දීමට එරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා. අපි බලාපොරොත්තු වෙනවා 23 වෙනිදා රාජ්‍ය ආයතන ඉස්සරහපිට, ආයතන ගණනාවක් ඉස්සරහපිට විරෝධතාවයක් කැඳවන්න. ඒ වගේම නොවැම්බර් මාසේ 30 වෙනිදා නැවත එක්දින වැඩ වර්ජන සමහර ක්ෂේත්‍ර වල ඒ වගේම සමහර ක්ෂේත්‍ර වල දින දෙකේ වැඩ වර්ජන කැඳවලා තියෙනවා. ඒ නිසා ඒ වැඩ වර්ජන වලට පැහැදිලිවම කම්කරු අරගල මධ්‍යස්ථානය මැදිහත් වෙනවා. කම්කරු අරගල මධ්‍යස්ථානය සූදානම් වෙනවා ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඊට එහා ගිය ක්‍රියාමාර්ග වලට කම්කරු පන්තියේ වැඩ කරන ජනතාව කැඳවන්න”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button