
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹයි – සිසුන් 21ක් රිමාන්ඩ්
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පරිපාලනය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනෙකු ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
යාපනය විශ්වවිද්‍යාලයේ සිසු ගැටුම ගැන පරිපාලනයෙන් අභ්‍යන්තර විමර්ශනයක්
යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවැනි සහ තෙවැනි වසරවල අධ්‍යාපනය ලබන සිසුන් දෙපිරිසක් අතර පසුගිය 19 වැනිදා රාත්‍රියේ මෙම ගැටුම හටගෙන තිබුණි.
විශ්වවිද්‍යාල සිසුන් නවාතැන්ගෙන සිටි පෞද්ගලික නේවාසිකාගාරයක් තුළ මෙම ගැටුම සිදුව ඇති අතර, එහිදී සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, ඒ අනුව ගැටුමට සම්බන්ධ බවට සැක කෙරෙන සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අනතුරුව අධිකරණය නියෝග කර ඇත්තේ ඔවුන් ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කර ඇත.
මේ අතර, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිරුනාවුක්කරසු වේල්නම්පි මහතා පවසන්නේ පොලිස් විමර්ශනවලට අමතරව විශ්වවිද්‍යාල පරිපාලනය ද වෙනම අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන බවයි.
අදාළ ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවුවද, පොලිසිය විසින් සිදුකරන සියලු විමර්ශන කටයුතු සඳහා විශ්වවිද්‍යාල පරිපාලනයේ පූර්ණ සහය ලබාදෙන බව ද උපකුලපතිවරයා සඳහන් කර තිබේ.
ගැටුමට හේතු වූ කරුණු හඳුනාගෙන, ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ද පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.



