ප්‍රධාන පුවත්

කොළඹ නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට රජයෙන් සැලසුම්

කොළඹ නව මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සඳහා රජය සැලසුම් කර තිබේ. ඒ අනුව 2027 වසර තුළ කොළඹ නගරය ඇතුළු අනෙකුත් නාගරික ප්‍රදේශවල පවතින නිවාස හා ජනාවාස ගැටලුවලට විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

කොළඹ නව මහල් නිවාස ඉදිකිරීමට ස්ථාන කිහිපයක් හඳුනා ගැනේ

අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභී ජනතාවට දැරිය හැකි මිලකට නවීන පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බව ද ඔහු සඳහන් කරයි.

කොළඹ නගරය සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල පවතින නිවාස හිඟයට පිළියම් සෙවීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා පෞද්ගලික අංශය එක්ව නව නිවාස සංකීර්ණ ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළට අදාළව නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩම්වල නව නිවාස ව්‍යාපෘති ආරම්භ කළ හැකි ස්ථාන හඳුනා ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පසුගියදා කොළඹ නගරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී අධිකාරියට අයත් ඉඩම් සහ දේපළවල වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලුණු අතර, ඒවා සංවර්ධනය කිරීමේදී මතුවන නීතිමය, තාක්ෂණික සහ ප්‍රායෝගික බාධා පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. එමෙන්ම අදාළ ප්‍රදේශවල පදිංචිකරුවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

විශේෂයෙන් දෙමටගොඩ ආරාම පාරේ පිහිටි ජන සෙවණ නිවාස සංකීර්ණයට අදාළ ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. එම ගැටලු කඩිනමින් විසඳීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

තවද, ආරාම පාරේ අඩු ආදායම්ලාභී ජනතාව පදිංචි හැටතුනේ වත්ත ප්‍රදේශයේ නව මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිත භූමිය ද නිරීක්ෂණය කර තිබේ.

එම ඉඩමේ පිහිටීම, භූමි ප්‍රමාණය, පවතින යටිතල පහසුකම් සහ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා පිළිබඳව එහිදී කරුණු සොයා බැලුණු බව සඳහන් වේ.

මේ අතර, මාලිගාවත්ත ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ. එම ඉඩම සංවර්ධනය කිරීමේදී පවතින ගැටලු විසඳා එය ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මෙහිදී තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button