
1990 සුවසැරිය සේවකයන්ට වසර 8කින් වැටුප් වැඩිවීමක් නැහැ – කෝප් කමිටුවේදී හෙළිවෙයි
1990 සුවසැරිය සේවකයන්ගේ වැටුප් ගැටලුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) පැවති සාකච්ඡාවකදී කරුණු රැසක් අනාවරණය වී තිබේ.
1990 සුවසැරිය සේවකයන්ගේ වැටුප් සහ නවාතැන් ගැටලුවලට රජයේ මැදිහත්වීමක් ඉල්ලයි
එහිදී හෙළි වී ඇත්තේ 2018 වසරේ සිට මේ දක්වා එම සේවාවේ කාර්ය මණ්ඩලයට කිසිදු වැටුප් වර්ධකයක් ලබාදී නොමැති බවයි.
මෙම තත්ත්වය හේතුවෙන් සුවසැරිය සේවයට බඳවා ගන්නා සේවකයන් දිගුකාලීනව රැඳී නොසිටීමේ ප්‍රවණතාවක් පවතින අතර, පුහුණුව හා පළපුරුද්ද ලබාගැනීමෙන් පසු විදේශ රැකියා සඳහා යොමුවීම ද සැලකිය යුතු ගැටලුවක් වී ඇත.
කෝප් කමිටුව හමුවේ කරුණු පැහැදිලි කළ සුවසැරිය පදනමේ පත්කළ අධ්යක්ෂ නීතිඥ නලින් පෙරේරා මහතා සඳහන් කළේ, සේවකයන්ට මේ වන විටත් ගෙවනු ලබන්නේ 2018 වසරේදී නියම කළ ආරම්භක වැටුප බවයි.
රජයේ සේවකයන්ට වැටුප් වර්ධක ලබාදීමෙන් අනතුරුව අමාත්‍යාංශය මගින් අයවැය දෙපාර්තමේන්තුව වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ යුතු බවත්, එම ක්‍රියාවලිය අවසන් වන තෙක් වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ 1990 සුවසැරිය පදනමේ සභාපති නිරෝෂන් රත්නායක මහතා පැවසුවේ, නව සේවකයන් බඳවාගෙන පුහුණු කර සේවයට යොමු කළද ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් පසුව රැකියාවෙන් ඉවත්වන බවයි.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ සුවසැරිය සේවයෙන් ලබාගන්නා පළපුරුද්ද උපයෝගී කරගෙන වැඩි වැටුප් සහිත විදේශ රැකියා සොයා යාම මෙම ගැටලුවට ප්‍රධාන හේතුවක් වී ඇති බවද ඔහු සඳහන් කර ඇත.
1990 සුවසැරිය සේවකයන්ගේ නවාතැන් පහසුකම් ගැනත් අවධානය
කාර්ය මණ්ඩලයට බලපා ඇති නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලු පිළිබඳව ද කෝප් කමිටුවේදී සාකච්ඡා වී තිබේ.
සුවසැරිය ගිලන්රථවලින් වැඩි ප්‍රමාණයක් පොලිස් ස්ථානවල ස්ථානගත කර ඇති අතර, තවත් සුළු ප්‍රමාණයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ විහාරස්ථාන පරිශ්‍රවල පවත්වාගෙන යනු ලබයි.
පොලිස් ස්ථානවල පවතින පහසුකම් සේවකයන්ට ලබාදී තිබුණද, එම ස්ථානවල පවතින ඇතැම් අඩුපාඩු හේතුවෙන් පොලිසිය සමඟ සාකච්ඡා කර ගැටලු අවම කිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් වී ඇත.
ඉදිරියේදී නව සේවකයන් බඳවා ගැනීමේදී මෙම තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බව පෙන්වා දුන් නීතිඥ නලින් පෙරේරා මහතා, ඒ සඳහා රජයේ සෘජු මැදිහත්වීමක් අවශ්‍ය බව අවධාරණය කළේය.
ඒ අනුව වාර්ෂිකව රජයේ අයවැයෙන් යම් මුදලක් වෙන් කරමින් ඉදිරි වසර 10ත් 15ත් අතර කාලය තුළ සුවසැරිය සේවකයන්ගේ නවාතැන් පහසුකම් සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබේ.



