උණුසුම් පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති ඝාතන නඩුවේ 12කට මරණ දඬුවම

අරගල සමයේ 2022 මැයි 9 වැනිදා සිදුවූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන ඝාතනය සම්බන්ධ නඩුවේ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.
අදාළ තීන්දුව ගම්පහ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙම නඩුව වසර දෙකහමාරකට අධික කාලයක් පුරා අඛණ්ඩව විභාගයට ගෙන තිබුණි.
තීන්දුව ප්‍රකාශයට පත් කළේ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසිනි.
අදාළ සිද්ධිය සිදුවූයේ 2022 මැයි 9 වැනිදාය. එදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට සහභාගි වී සිය නිවස බලා ගමන් කරමින් සිටියදී නිට්ටඹුව නගර මධ්‍යයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් විසින් ඔහුට හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කර තිබුණි. එම ප්‍රහාරය CCTV කැමරාවල සටහන්ව තිබූ බව වාර්තා විය.
සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක හා මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාසය විසින්, එවක එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළේය.
විමර්ශන අනුව සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගනු ලැබූ අතර 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබුණි. මූලික නඩු කටයුතු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති අතර, පසුව ගම්පහ මහාධිකරණය හමුවේ නඩු විභාගය ආරම්භ විය.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව, අගවිනිසුරුවරයා විසින් එම විනිසුරු මඬුල්ල පත්කර තිබුණි.
විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 14ක් යටතේ නඩුව පැවරී තිබූ අතර, නඩු විභාගය අතරතුර 13 වැනි හා 31 වැනි විත්තිකරුවන් මියගොස් ඇත. 39 හා 40 වැනි විත්තිකරුවන් අධිකරණය මගහැර පලාගොස් ඇති අතර, ඔවුන් නොමැතිව නඩුව ඉදිරියට ගෙන ගිය බව සඳහන්ය.
නඩුව තීන්දුව සඳහා ජනවාරි 14 වැනිදා කැඳවූ අවස්ථාවේදී දැඩි කොන්දේසි සහිත ඇප මත සිටි විත්තිකරුවන් 37 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර, නීතිපතිවරයාගේ ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදයක් හේතුවෙන් තීන්දුව ප්‍රකාශ කිරීම අද දිනට කල් තැබූ අතර, එහිදී 12 දෙනෙකුට මරණ දඬුවම නියම කරනු ලැබීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button