
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට
ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගෙන ඇත්තේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකට අනුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යංශයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන ජගත් පුෂ්පකුමාර මහතා අද (08) උදෑසන 9.20ට පමණ කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඔහුට එල්ල වී ඇති චෝදනා අතර 2014 ඌව පළාත් සභා මැතිවරණ සමයේ රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ නාමයෙන් පෝස්ටර් සහ අත්පත්‍රිකා 250,000ක් මුද්‍රණය කිරීම සඳහා හලාවත වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යොදා ගැනීම ඇතුළත් වේ.
එම කටයුතු සඳහා අදාළ සමාගම් දෙකට රුපියල් 2,665,000ක මුදලක් වැය කිරීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම 2015 ජනාධිපතිවරණ සමයේ ගංවතුර ආධාර ලෙස ඇඳුම් කට්ටල මිලදී ගැනීමේදී නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීම සහ ඒවා භෞතිකව බෙදා නොදීම සම්බන්ධයෙන්ද චෝදනා ඉදිරිපත් කර ඇත.
තවද 2013 සහ 2014 මැයි පෙළපාලි සඳහා සහභාගී වූ පිරිස් වෙනුවෙන් ටී-ෂර්ට් සහ සාරි ලබාදීමට අදාළ සමාගම්වල නිලධාරීන් පෙළඹවූ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබේ.



