ප්‍රධාන පුවත්

සේවක හිඟයෙන් උප දුම්රිය ස්ථාන 3ක් තාවකාලිකව වැසේ

උප දුම්රිය ස්ථාන 3ක් වසා දමයි යන තීරණය සේවක හිඟය සහ අතිකාල සේවා සම්බන්ධ ගැටලු හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, පුත්තලම් මාර්ගයේ බංගදෙණිය සහ මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය ඊයේ (14) සිට තාවකාලිකව වසා දමා ඇත. එහි සේවය කළ උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මෙම තීරණයට හේතු වී ඇති බව සඳහන් වේ.

මේ අතර, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගීන් විශාල පිරිසක් භාවිත කරන ආඳදොල උප දුම්රිය ස්ථානය මාස 11ක කාලයක සිටත්, අකුරළ උප දුම්රිය ස්ථානය මාස 9ක කාලයක සිටත් වසා තැබී ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් එම ස්ථාන භාවිත කරන මගීන්ට ප්‍රවේශපත් හා වාර ප්‍රවේශපත් ලබා ගැනීම මෙන්ම දුම්රිය ප්‍රමාදයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමද දුෂ්කර වී තිබේ. දුම්රිය එම ස්ථානවල නතර කළද, ප්‍රවේශපත් ලබා ගැනීම සඳහා වෙනත් දුම්රිය ස්ථානයකට යාමට මගීන්ට සිදුවන බව වාර්තා වේ.

එසේම, රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නොමැති වීම නිසා මගීන් තවදුරටත් අපහසුතාවට පත්ව සිටිති.

නීත්‍යනුකූල ක්‍රමවේදයන් අනුව සහන දුම්රිය ස්ථානාධිපතිවරුන් යොදවා මෙම උප දුම්රිය ස්ථාන විවෘතව පවත්වාගෙන යා හැකි වුවද, සේවක අතිකාල දීමනා කප්පාදු කිරීමේ සැලසුම් හේතුවෙන් එවැනි පියවර ගැනීමට නොහැකි වී ඇති බව දුම්රිය ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button