විදෙස්

ඉරානයේ ප්‍රතිචාරය පිළිගත නොහැකි බව ට්‍රම්ප් කියයි

අමෙරිකාව විසින් යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවලට ඉරානය ලබාදී ඇති ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

පාකිස්තානය හරහා ටෙහෙරානයෙන් යවා ඇති යෝජනාවට යුද්ධය වහාම නතර කිරීම, අමෙරිකානු නාවික අවහිරතා ඉවත් කිරීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බවට සහතික ලබාදීම ඇතුළත් වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත්, සිය Truth Social ගිණුම ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානයේ නියෝජිතයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරය තමන් පරීක්ෂා කළ බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්ය.

අමෙරිකානු පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු 14කින් යුත් යෝජනාවලියට ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සාරවත් කිරීම නතර කිරීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහස් නාවික ගමනාගමනය යළි ස්ථාපිත කිරීම ඇතුළත් බවද වාර්තා වේ.

මේ අතර, ඉරානය දිගින් දිගටම හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමක් දක්නට ලැබේ. එම තත්ත්වයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරාන වරායන් සම්බන්ධයෙන්ද පීඩන වැඩි කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම වර්ධනයන් හේතුවෙන් දෙරට අතර ආතතිය තවදුරටත් උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button