ප්‍රධාන පුවත්

සුනඛයින් එන්නත් කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් අනතුරු ඇඟවීමක්

සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සංශෝධනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ලසිත කන්නන්ගර මහතා ඊයේ (02) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ මෙරට සුනඛ ගහණය විධිමත් ලෙස පාලනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

සුනඛයින් එන්නත් කිරීම, ඔවුන් ලියාපදිංචි කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයින් අභිජනනය කිරීම නියාමනය කිරීම මෙම කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර වේ.

ඒ අනුව පරිපාලන සීමාවක් තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජලභීතිකා රෝගයට එන්නත් කර ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමට යෝජනා කර ඇත.

කෙටුම්පතේ සිව්වැනි වගන්තිය අනුව සුනඛයින්ට ජලභීතිකා එන්නත ලබාදීම පශු වෛද්‍යවරයෙකු විසින් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කළ යුතු බව සඳහන් වේ.

කෙසේවෙතත්, එම ප්‍රතිපාදනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රට තුළ ජලභීතිකා මරණ සංඛ්‍යාව අඩු කිරීම සඳහා ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව GMOA පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button