අද විශේෂ

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් දිවයින පුරා මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු බලපත්‍ර ලබා ඇති සියලුම ස්ථාන අද දිනයේ වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත.

මද්‍යසාර භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් අකාලයේ මියයන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙයි. ඒ අනුව වාර්ෂිකව මද්‍යසාර ආශ්‍රිත මරණ සංඛ්‍යාව 15,000ත් 20,000ත් අතර වන බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගෝලීය මට්ටමින් සැලකීමේදී ද මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට අකාලයේ මියයන පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 03කට ආසන්න බව සඳහන් වේ.

ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10කින් 8කට පමණ බෝ නොවන රෝග (NCDs) බලපාන අතර, එම රෝග සඳහා බලපාන ප්‍රධාන අවදානම් සාධක හතරෙන් එකක් ලෙස මද්‍යසාර භාවිතය හඳුනාගෙන තිබේ.

මද්‍යසාර භාවිතය විවිධ රෝග සඳහා ප්‍රධාන හේතුවක් බව ලෝකයට පෙන්වා දීම සඳහා 1980 සහ 1990 දශකවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අන්තර්ජාතික මත්පැන් හා මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස 1988 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් අප්‍රිකානු සහ ආසියානු රටවල් කිහිපයක් එක්ව “No Alcohol Campaign Week” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇත.

එම වැඩසටහන සඳහා ජනතාවගෙන් ලැබුණු ඉහළ ප්‍රතිචාරය සැලකිල්ලට ගනිමින් එය වාර්ෂිකව එක් දිනයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව මද්‍යසාර භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මද්‍යසාර පානවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමේ වැදගත්කම අවධාරණය කිරීම අරමුණු කරගනිමින් ඔක්තෝබර් 03 වන දින ලෝක අමද්‍යප දිනය ලෙස සමරනු ලබයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button