අද විශේෂ

දීපාවලී උත්සවය අද (8) දිනට යෙදී තිබේ – හින්දු බැතිමතුන් ආලෝක මංගල්‍යය සමරයි

 

දීපාවලී උත්සවය අද (08) ලොව පුරා හින්දු බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මහත් භක්තියෙන් හා උත්සවාකාරයෙන් සැමරීමට නියමිතය.

ඉන්දියානු සංස්කෘතියේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගෙන ඇති මෙම උත්සවය ආලෝකයේ මංගල්‍යය ලෙස ද ප්‍රසිද්ධියට පත්ව තිබේ. අඳුර පරදා ආලෝකයත්, අයහපත පරදා යහපතත් ජයගැනීම මෙහි ප්‍රධාන සංකේතාත්මක අර්ථය වේ.

විෂ්ණු දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කිරීමෙන් යහපතේ ජයග්‍රහණය සනිටුහන් වූ සිදුවීම දීපාවලී සැමරුම හා සම්බන්ධ එක් විශ්වාසයකි. ඒ අනුව අඳුර දුරු වී ආලෝකය උදා වේවා යන ප්‍රාර්ථනාවෙන් බැතිමතුන් සිය නිවෙස්වල පහන් දල්වා මෙම දිනය සමරනු ලබයි.

දීපාවලී උත්සවය වෙනුවෙන් පාසල් නිවාඩු

මේ අතර, අද (08) දිනට යෙදී ඇති දීපාවලී උත්සවය සැලකිල්ලට ගනිමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා අද විශේෂ නිවාඩුවක් ලබාදීමට එම පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබේ.

එම නිවාඩුව හේතුවෙන් අහිමි වන අධ්‍යයන දිනය ආවරණය කිරීම සඳහා මෙම මස 14 වැනි සෙනසුරාදා දින අදාළ පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත්, උතුරු සහ නැගෙනහිර පළාත්වල සිංහල මාධ්‍ය පාසල් මෙන්ම මුස්ලිම් පාසල් ද අද දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

මීට අමතරව, දීපාවලී උත්සවය වෙනුවෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා හෙට (09) සඳුදා විශේෂ නිවාඩුවක් ලබාදීමට ද මීට පෙර තීරණය කර තිබුණි.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව එම පළාත්වල පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button