
සම්බා සහ කීරි සම්බා හිඟයට විසඳුමක්: සහල් ආනයනයට ගැසට් නිවේදනය නිකුත් කරයි
මෙරට වෙළෙඳපොළේ පවතින සම්බා සහ කීරි සම්බා සහල් හිඟයට විසඳුමක් ලෙස විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන ගැසට් නිවේදනයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ.
පසුගිය මාර්තු 31 දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, සම්බා සහ කීරි සම්බා හිඟය අවම කිරීමේ අරමුණින් GR 11 ලෙස හඳුන්වන සහල් ප්‍රභේදය ඇතුළුව පොන්නි සම්බා සහ කීරි/පාල් පොන්නි සහල් මෙට්‍රික් ටොන් 1,040ක් දක්වා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවයි.
ඒ අනුව, අප්‍රේල් 1 වනදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුළ ඕනෑම ආනයනකරුවෙකුට මෙම සහල් වර්ග ආනයනය කිරීමට අවසර ලබා දී ඇති අතර, එම තොග මැයි 31 වනදා හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කළ යුතු බව සඳහන් වේ.
තවද, මෙම සහල් ආනයනය සඳහා ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්යතාවයෙන්ද ආනයනකරුවන් නිදහස් කර ඇති බවත්, ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති බවත් වාර්තා වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් ලබාදුන් නවතම දත්ත මත පදනම්ව, 2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා නිෂ්පාදනය දේශීය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දී ඇත.
එමෙන්ම 2026 මැයි මාසය වන විට මෙම සහල් වර්ගවල දැඩි හිඟයක් ඇතිවිය හැකි බවටද අනාවරණය වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වෙළෙඳපොළේ ඉල්ලුම ස්ථාවර මිලක් යටතේ පවත්වා ගැනීම සඳහා සමාන ගුණාත්මක සහල් වර්ග ආනයනය කිරීමේ අවශ්‍යතාව ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව විසින්ද අවධාරණය කර ඇත.
ඒ අනුව, GR 11 සහල් ඇතුළු විකල්ප සහල් වර්ග ආනයනය කිරීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.





