
සෞදියේදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් 40කට ලක්ෂ 569ක වන්දි මුදලක්
සෞදියේදී විවිධ දුෂ්කරතාවලට මුහුණදුන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 40 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 569කට ආසන්න මුදලක් ලබාදීමට පියවර ගෙන තිබේ.
සෞදියේදී විපතට පත් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් නොගෙවූ වැටුප් හා දීමනා අයකර දෙයි
අද (13) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී මෙම මුදල් ප්‍රදානය සිදුකර ඇති අතර, එම අවස්ථාව කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී දේවප්‍රිය ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අදාළ ශ්‍රමිකයින්ට නියමිත පරිදි ගෙවා නොතිබූ වැටුප් සහ දීමනා වෙනුවෙන් සෞදි රියාල් 639,381ක මුදලක් අයකර ගැනීමට හැකි වී තිබේ. එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 569කට ආසන්න වේ.
මෙම මුදල් අයකරගෙන ඇත්තේ මේ වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් 11 වැනිදා දක්වා කාලය තුළ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා හා කම්කරු සුබසාධන අංශය සිදුකළ නීත්‍යානුකූල මැදිහත්වීම්, මෙහෙයුම් සහ මුදාගැනීමේ කටයුතු හරහාය.
එමෙන්ම, නීතිවිරෝධී ලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මුදාගෙන නැවත මෙරටට එවීමට ද එම අංශය කටයුතු කර තිබේ.
මෙලෙස අයකරගත් මුදල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත එවා තිබූ අතර, එම මුදල් අදාළ ශ්‍රමිකයින් 40 දෙනාට හිමි අයිතිවාසිකම් ලෙස අද දිනයේදී පිරිනමා ඇත.



