
මැදපෙරදිග යුද්ධය උත්සන්නයි: ඉරානයේ මරණ 1,300 ඉක්මවයි – නවතම යාවත්කාලීන කිරීම
මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද මෙහෙයුමට අද (08) දින නවයක් සම්පූර්ණ වී තිබේ. එම පසුබිම මධ්‍යයේ මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තවදුරටත් උත්සන්න වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Update – 12.52 PM
ඉරානයෙන් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් බහරේනයේ මුහාරක් නගරයේ පිහිටි විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට හානි සිදුවී ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මෙම තොරතුරු බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර ඇත.
Update – 12.45 PM
ඉරානය මේ වනවිට නායකත්ව අර්බුදයකට මුහුණ දී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ මාධ්‍ය වෙත පවසා තිබේ.
ඔහු සඳහන් කළේ, ඉරානයේ නාවික සහ ගුවන් හමුදා හැකියාවන් බොහෝ දුරට විනාශ කර ඇති බවයි.
Update – 11.32 AM
කටාර් එයාර්වේස් සමාගම ප්‍රකාශ කළේ ලන්ඩන්, පැරිස්, මැඩ්රිඩ්, රෝමය, ෆ්රැන්ක්ෆර්ට් සහ බැංකොක් සිට දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (08) දින ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
ගුවන් තොටුපළ වෙබ් අඩවියට අනුව එම ගුවන් ගමන් සියල්ලම එරට වේලාවෙන් උදෑසන 04.00 සිට 06.00 දක්වා කාලය අතරතුර ආරක්ෂිතව ගොඩබස්වා ඇත.
Update – 11.11 AM
බහරේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ නලා (sirens) ක්‍රියාත්මක කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
පුරවැසියන්ට කලබල නොවී සන්සුන්ව සිටින ලෙසත්, වහාම තමන්ට ආසන්න ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත් බලධාරීන් ඉල්ලීමක් කර ඇත.
Update – 10.00 AM
ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට එරෙහිව තම ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීයව ක්‍රියාත්මක වන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
රට තුළ ඇසෙන ශබ්ද, එම මිසයිල හා ඩ්‍රෝන යානා අල්ලා විනාශ කිරීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බවද එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
Update – 09.45 AM
ඉරාන නෞකා සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට වොෂින්ටනය ගරු කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකයා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම ‘IRIS Bushehr’ නෞකාව, එහි කාර්ය මණ්ඩලය සහ මුදාගත් ඉරාන නාවිකයන් පිළිබඳ අවසන් තීරණය ශ්‍රී ලංකාවේ දේශීය නීති හා ජාත්‍යන්තර නීතිමය බැඳීම් අනුව ශ්‍රී ලංකාව විසින් ගනු ඇති බවද ඔහු පැවසීය.
Update – 09.25 AM
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහිව සිදුකරන ප්‍රහාර අත්හිටුවිය යුතු බව චීන විදේශ අමාත්‍ය වං යී අවධාරණය කර ඇත.
බීජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඔහු පවසා ඇත්තේ, බලය භාවිත කිරීමෙන් මෙවැනි අර්බුදවලට ස්ථිර විසඳුම් සොයාගත නොහැකි බවයි.
Update – 09.15 AM
බැලැස්ටික් මිසයිල තුනක් තම ගුවන් ආරක්ෂක පද්ධති මඟින් විනාශ කළ බව කුවේට් බලධාරීන් පවසයි.
එමෙන්ම කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉන්ධන ටැංකි සහ සමාජ ආරක්ෂණ පොදු ආයතනයේ ප්‍රධාන ගොඩනැගිල්ලට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් හටගත් ගිනි ගැනීම් දෙකක් පාලනය කිරීමට ගිනි නිවන භටයන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
Update – 09.10 AM
යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ඉරානය තුළ පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත්, ලක්ෂයකට ආසන්න පිරිසක් අවතැන් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



