
ශානිගේ පෙත්සම් විභාගය අවසන් – තීන්දුව පසුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධ විභාගය අවසන් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නේය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. එම පෙත්සම් කැඳවනු ලැබුවේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට අදාළ විමර්ශනවලදී ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට චෝදනා කරමින් තම සේවාදායකයින් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බව සඳහන් කළහ. එම ක්‍රියාවලිය හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවද ඔවුන් පෙන්වා දී තිබේ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ, පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝගයකට අනුව බවය.
දෙපාර්ශවයම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලිඛිත දේශන තිබේ නම් අද සිට මාසයක් ඇතුළත භාරදෙන ලෙස නියෝග කරමින් පෙත්සම් විභාගය අවසන් කළේය. එමෙන්ම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබූ බවද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
මීට අමතරව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් ස්ථාන මාරු කළ බවට චෝදනා කරමින් ශානි අබේසේකර මහතා ගොනු කළ වෙනත් පෙත්සමක විභාගයද අවසන් කර ඇති අතර, එහි තීන්දුවද පසුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම පෙත්සම් ශානි අබේසේකර සමඟ හිටපු උප පොලිස් පරීක්ෂකවරුන් වන සුදත් මෙන්ඩිස් සහ එන්. ප්‍රේමසිංහ විසින් ගොනු කර තිබේ.



