සෞඛ්‍යය

ශ්වසන රෝග රැසකට එකවර ආරක්ෂාව දෙන නව එන්නතක් ලාංකේය සම්භවයක් ඇති විද්‍යාඥයෙකුත් ඒ අතර

Stanford University හි නව “Universal” නාසික එන්නතක්: ශ්වසන වෛරස්, බැක්ටීරියා සහ අසාත්මිකතා වලට අතිරේක ආරක්ෂාවක්

අමෙරිකාවේ Stanford University පර්යේෂකයින් විසින් ශ්වසන මාර්ගය ආශ්‍රිත වෛරස ආසාදන, බැක්ටීරියා ආසාදන, අසාත්මිකතා, කැස්ස සහ උණ වැනි තත්ත්වයන්ට එරෙහිව පුළුල් ආරක්ෂාවක් සපයන නව ප්‍රවේශයක එන්නතක් හඳුන්වා දී තිබේ. මෙම සොයාගැනීම සඳහා ලාංකික සම්භවයක් ඇති විද්‍යාඥයෙකු වන Bali Pulendran මහතාද දායකත්වය ලබා දී ඇත.

මෙම “පොදු” (universal) නාසික එන්නත සතුන් යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණවලදී සාර්ථක ප්‍රතිඵල ලබා ඇති අතර, මිනිසා සඳහා සායනික පරීක්ෂණ ආරම්භ කිරීමට ඉදිරියේදී සැලසුම් කර ඇත. වසර 200කට වැඩි කාලයක් පුරා භාවිතා වූ සාම්ප්‍රදායික එන්නත් ක්‍රමවේදයෙන් බැහැර වූ විප්ලවීය වෙනසක් ලෙස මෙම නව ප්‍රවේශය සැලකේ.

සාම්ප්‍රදායික එන්නත් වලට වඩා වෙනස් කෙසේද?

සාම්ප්‍රදායික එන්නත් මඟින් එක් නිශ්චිත රෝගකාරකයකට එරෙහිව ප්‍රතිශක්ති පද්ධතිය පුහුණු කෙරේ. එහෙත් මෙම නව නාසික එන්නත, ප්‍රතිශක්ති සෛල එකිනෙකා සමඟ සන්නිවේදනය කරන ආකාරය අනුකරණය කරමින්, ශරීරයේ ස්වභාවික ආරක්ෂාව “සීරුවෙන්” තැබීමට කටයුතු කරයි.

එන්නත නාසයට ඉසින දියරයක් ලෙස ලබා දෙන අතර, එමඟින් පෙනහළුවල ඇති මැක්‍රෝෆේජ් (macrophages) නම් සුදු රුධිරාණු සෛල ක්ෂණික ප්‍රතිචාර සඳහා සූදානම් තත්ත්වයක තබා ගැනේ. පර්යේෂණ අනුව, සතුන් තුළ මෙම ආරක්ෂාව මාස තුනක් පමණ පැවති බව සඳහන් වේ.

වෛරස් ශරීරගත වීම 100 සිට 1,000 ගුණයක් දක්වා අඩු කිරීමට මෙම ප්‍රවේශය සමත් වී ඇති බව පර්යේෂකයින් පවසයි. තවද, Staphylococcus aureus සහ Acinetobacter baumannii වැනි බැක්ටීරියා වලට එරෙහිවද ආරක්ෂාවක් සපයන බව හඳුනාගෙන ඇත. දූවිලි ආශ්‍රිත ඇදුම වැනි අසාත්මිකතා පාලනය කිරීමටද මෙය සහාය විය හැකි බව නිරීක්ෂණය වී ඇත.

විද්‍යාඥයන්ගේ අදහස්

මහාචාර්ය Bali Pulendran පෙන්වා දෙන්නේ, මෙය COVID-19, ඉන්ෆ්ලුවෙන්සා හෝ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට පමණක් සීමා නොව, පරීක්ෂා කළ බොහෝ වෛරස් සහ බැක්ටීරියා වර්ගවලට එරෙහිව ක්‍රියා කරන බවයි.

එමෙන්ම University of Oxford හි මහාචාර්ය Daniela Ferreira මෙම සොයාගැනීම “ඉතා උද්යෝගිමත් පර්යේෂණයක්” ලෙස හඳුන්වා දෙමින්, මිනිස් සිරුර තුළ සාර්ථක වුවහොත් ලෝකය පුරා ශ්වසන රෝග බර අවම කිරීමට මෙය වැදගත් විය හැකි බව සඳහන් කර ඇත.

තවමත් මුල් අදියරේ

මෙම නව එන්නත තවමත් පර්යේෂණ මුල් අදියරේ පවතින අතර, මිනිස් පෙනහළුවල ගැඹුරටම එන්නත ළඟා කරවීමට නෙබියුලයිසර් යන්ත්‍රයක් අවශ්‍ය විය හැකි බව විද්‍යාඥයන් පෙන්වා දෙයි. එසේම, ශරීරය දිගුකාලීනව “අධි සීරුවෙන්” තබා ගැනීමෙන් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වැනි අතුරු ආබාධ ඇතිවෙයිද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය වේ.

පර්යේෂකයින්ගේ අදහස අනුව, මෙය පවතින එන්නත් වෙනුවට ආදේශකයක් නොව, අතිරේක ආරක්ෂණයක් ලෙස භාවිතා කළ හැකි ය. විශේෂයෙන් නව වසංගතයක් ආරම්භයේදී නිශ්චිත එන්නතක් සකස් කරන තෙක් කාලය ලබා ගැනීමටත්, ශීත සෘතුවේදී පැතිරෙන රෝගවලින් ආරක්ෂාව වැඩි කිරීමටත් මෙය ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button