
කෙරවලපිටිය–ඇළකන්ද 2.2km මාර්ගය යළි සංවර්ධනයට කැබිනට් අනුමැතිය
කෙරවලපිටිය කර්මාන්ත කලාපය හරහා දිවෙන, කෙරවලපිටිය අධිවේගී පිවිසුමෙන් ඇළකන්ද මාර්ගය දක්වා කිලෝමීටර් 2.2ක් පමණ දිගු මාර්ග කොටස යළි සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
අදාළ මාර්ග කොටස, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සංවර්ධනය කළ අක්කර 400කට ආසන්න භූමි ප්‍රදේශයක ස්ථාපිත කෙරුණු කර්මාන්ත කලාපයට ප්‍රධාන ප්‍රවේශ මාර්ගයක් ලෙස භාවිත වේ. එම කලාපයේ ලිට්රෝ ගෑස් ලංකා සමාගම, ලංකා ඛනිජතෙල් පර්යන්ත සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමත ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වේ.
මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය 2021 වසරේදී මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කර තිබුණද, රට තුළ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් එය අවසන් කිරීමට නොහැකි වී ඇත.
දැනට අබලන් තත්ත්වයේ පවතින මාර්ග කොටස කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ගමනාගමනයට සුදුසු පරිදි සකස් කිරීමටත්, පසුව දීර්ඝකාලීන විසඳුමක් ලෙස එය පුළුල් කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් සිදුකර මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ වෙන්කෙරෙන ප්‍රතිපාදන මඟින් සංවර්ධනය කිරීමටත් තීරණය කර ඇත.
මෙම යෝජනාව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.



