ප්‍රධාන පුවත්

දිය ජනනි සූර්ය බලාගාරය විදුලි පද්ධතියට

දිය ජනනි සූර්ය බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම අද (18) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකර ඇති මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට් 05කි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කරමින් විදුලිය උත්පාදනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන ජාතික වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.

අක්කර 10.5ක භූමි ප්‍රමාණයකට සමාන ජල ප්‍රදේශයක් ආවරණය කරමින් ඉදිකර ඇති මෙම බලාගාරයෙන් වාර්ෂිකව නිවාස 7,500කට පමණ අවශ්‍ය විදුලි සැපයුම සපුරාලීමට හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම ව්‍යාපෘතිය හරහා වාර්ෂික කාබන් ඩයොක්සයිඩ් විමෝචනය මෙට්‍රික් ටොන් 6,440කින් පමණ අඩු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම ඩීසල් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා වාර්ෂිකව වැයවන ඩීසල් ලීටර් මිලියන 2.5ක් පමණ ඉතිරි කර ගැනීමට හැකි වන අතර, ඒ මඟින් වසරකට විදේශ විනිමය ලෙස ඩොලර් මිලියන 3ක පමණ මුදලක් රට තුළ ඉතිරි කර ගැනීමට හැකි වන බව සඳහන්ය.

“දිය ජනනි” පුද්ගලික සමාගම විසින් ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ තවත් විශේෂත්වයක් වන්නේ එය සම්පූර්ණයෙන්ම දේශීය ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන්ගේ දායකත්වයෙන් ඉදිකර තිබීමයි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කාලය තුළ ප්‍රදේශයේ පුද්ගලයින් 150කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා ලබාදී ඇති බවද සඳහන් වේ.

සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්ව ඇති අතර, පසුව පාලක මැදිරිය වෙත ගොස් එහි ක්‍රියාකාරීත්වයද නිරීක්ෂණය කර තිබේ.

ව්‍යාපෘතියට සමගාමීව ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාර වැඩසටහන් කිහිපයක්ද ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ශ්‍රී විවේකාරාම විහාරස්ථානය සඳහා ජෙනරේටරයක් ලබාදීම සහ ධර්ම ශාලාවේ කටයුතු සඳහා රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ධීවර ප්‍රජාව සඳහා මඩ පොකුණු ඉදිකිරීම සහ ධීවර ආම්පන්න මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 2,000,000ක මූල්‍ය ප්‍රදානයක්ද ලබාදී ඇත.

තවද, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ හරිත උද්‍යානයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් 1,000,000ක මුදලක්ද පරිත්‍යාග කර තිබේ.

ආනකටාව ප්‍රාථමික විදුහලේ සියලුම සිසුන්ට වසරකට අවශ්‍ය පාසල් උපකරණ සහ අනෙකුත් ද්‍රව්‍ය ලබාගැනීම සඳහා රුපියල් 800,000ක මුදලක්ද ලබාදී ඇත.

වීර මොහාන් ජයමහ විද්‍යාලය සහ ජල ව්‍යාපෘතිය සඳහාද රුපියල් 400,000ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර ඇති අතර, තවත් ප්‍රජා සත්කාර රැසක් ක්‍රියාත්මක කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button