ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන නෞකා 20ක් – ප්‍රහාර අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාව ආසන්නයේ ඉරාන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් නැංගුරම්ලා සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අවධානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා සඳහන් කර ඇත්තේ, එම නෞකා ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය ආශ්‍රිතව රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකාවෙන් පහසුකම් ලබා නොදෙන බව කියයි

කෙසේ වෙතත්, අදාළ නෞකා ශ්‍රී ලංකාවේ භෞමික සීමාවෙන් පිටත රැඳී සිටින බැවින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වගකීමක් නොමැති බවද ඔහු පෙන්වා දී තිබේ.

එමෙන්ම එම නෞකාවලට ශ්‍රී ලංකාව විසින් කිසිදු පහසුකමක් ලබා නොදෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉරාන නෞකා 13ක් ඇතුළු නෞකා රැසක්

‘TankerTrackers’ වෙබ් අඩවියට අනුව, අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති නාවුක බාධක හේතුවෙන් ඉරාන වරායන් වෙත යාත්‍රා කිරීමට නොහැකිව ඉන්ධන ප්‍රවාහන නෞකා 20කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු කලාපයේ රැඳී සිටී.

ඒ අතර ඉරාන ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකා 13කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම සම්බාධක මගහැරීම සඳහා භාවිත කරන ‘ෂැඩෝ ෆ්ලීට්’ නෞකා කිහිපයක්ද ඇති බව එම වෙබ් අඩවිය පවසයි.

කෙසේ වෙතත්, අදාළ නෞකා මේ වනවිට ඉන්ධන රහිත තත්ත්වයක පවතින බවද ‘TankerTrackers’ සඳහන් කර තිබේ.

ප්‍රහාර අවදානමක් ගැනත් අවධානය

පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සිට නාවික සැතපුම් 19ක් පමණ දුරින් තිබූ ‘අයිරිෂ් ඩේනා’ නෞකාවකට අමෙරිකානු සබ්මැරීනයකින් ප්‍රහාරයක් එල්ල වී එය ගිලී යාමත් සමඟ, ශ්‍රී ලංකාව ආශ්‍රිතව රැඳී සිටින මෙම නෞකාවල ආරක්ෂාව සම්බන්ධයෙන්ද අවදානමක් පවතින බව ‘TankerTrackers’ පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර නීතිය යටතේ මධ්‍යස්ථ රටක වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 12ක් දක්වා විහිදෙන භෞමික මුහුදු සීමාව තුළ රැඳී සිටින නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාවට අවසර නොමැති බවද එම වෙබ් අඩවිය සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button