කාලගුණය

අද පස්වරුවේ වැසි

අද පස්වරුවේ වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ ස්ථාන කිහිපයකට සුළු වැසි ඇති විය හැකි අතර, ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තද සුළං ඇති විය හැකියි

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකිය.

අද පස්වරුවේ වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අකුණු පිළිබඳව අවධානයෙන්

ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අකුණු සහ තද සුළං පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතින බවද සඳහන් වේ.

ඒ අනුව අද (31) දහවල් 12.10ට නෙරියකුලම, පුනෑව, කැබිතිගොල්ලෑව, පන්කුලම සහ සිංහපුර යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතිනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button