ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව මිලියන 1.3කින් ඉහළට

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට අපහසුතාවට පත්ව සිටින ජනතාවගේ සංඛ්‍යාව තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) අනාවරණය කරයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විශ්ලේෂණ වාර්තාවකින් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ සෝමාලියාව යන රටවල් තුළ ඇතිව තිබෙන ආහාර සුරක්ෂිතතා අර්බුදය පිළිබඳව අවධානය යොමු කර තිබේ.

වාර්තාවට අනුව, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඒ සමඟ ඇති වූ ආර්ථික පීඩනය මත ජනතාවගේ ආහාර ප්‍රවේශය තවදුරටත් සීමා වී ඇත.

එහිදී සෝමාලියාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාවගේ සංඛ්‍යාව මිලියන 2.5කින් ඉහළ ගොස් ඇති අතර, ඇෆ්ගනිස්තානයේ එම සංඛ්‍යාව මිලියන 2.3කින් වැඩි වී ඇති බවද සඳහන් වේ.

ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කාව් පෙන්වා දෙන්නේ බලශක්ති මිල සහ ආහාර මිල අතර පවතින දැඩි සම්බන්ධතාවය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි.

දුප්පත් රටවල ජනතාව තම ආදායමේ විශාල කොටසක් ආහාර සඳහා වැය කරන බැවින්, ආහාර මිල ඉහළ යාමත් සමඟ ඔවුන්ගේ පරිභෝජනය සීමා කිරීමට සිදුවන බවද ඔහු අවධාරණය කර ඇත.

මැදපෙරදිග අර්බුදය සමනය වුවද, ඉන්ධන හා ආහාර මිල ඉහළ යාමෙන් සහ වෙළෙඳ කටයුතු කඩාකප්පල් වීමෙන් ඇති වූ බලපෑම් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ මෙම රටවල ආහාර අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි බව WFP වාර්තාව අනතුරු අඟවයි.

එමෙන්ම ජූනි මාසය අවසන් වන විට ලොව පුරා තවත් මිලියන 45ක පමණ ජනතාවක් ආහාර අනාරක්ෂිතතාවයට ලක්වීමේ අවදානමකට මුහුණ දිය හැකි බවද එහි සඳහන් වේ.

දැනටමත් මූල්‍ය ආධාර කප්පාදුවලට මුහුණ දී සිටින ලෝක ආහාර වැඩසටහන, මෙම මානුෂීය අර්බුදය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ කඩිනම් සහයෝගය අවශ්‍ය බව අවධාරණය කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button