
විහාරමහාදේවී සත්‍යග්‍රහයේ අධිකරණ නියෝගය එලෙසමයි
විහාරමහාදේවී සත්‍යග්‍රහයේ අධිකරණ නියෝගය වෙනස් නොකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (23) තීරණය කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල අඛණ්ඩව රැඳී සිටීම වළක්වමින් ඊයේ (22) නිකුත් කළ අධිකරණ නියෝගය සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබේ.
භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම තීරණය ප්‍රකාශයට පත් කළේය.
එහිදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ බුදු පිළිමය අසල රැඳී සිටීම වළක්වාලමින් නිකුත් කර ඇති නියෝගය සංශෝධනය කර, භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයේ රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත්, එම ඉල්ලීම අනුව අධිකරණ නියෝගය වෙනස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේ නැත.
මේ අතර, අධිකරණ නියෝගය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.
එවැනි වරෙන්තු නිකුත් කිරීමට ප්‍රමාණවත් කරුණු මේ අවස්ථාවේදී අනාවරණ වී නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, පොලිසියට අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකි බව ද සඳහන් කළේය.



