
රඹුක්කන – පේරාදෙණිය දුම්රිය ධාවනය දින දෙකකට නවතී
රඹුක්කන පේරාදෙණිය දුම්රිය ධාවනය හෙට (24) සහ අනිද්දා (25) යන දෙදින තුළ තාවකාලිකව අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රඹුක්කන සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නායයෑමේ අවදානම් තත්ත්වයක් මතුව ඇත. එමඟින් දුම්රිය මාර්ගයට පස් සේදී ඒමේ අවදානමක් පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ.
අදාළ දුම්රිය මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරමින් ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු හෙට සහ අනිද්දා සිදු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එම දින දෙක තුළ රඹුක්කන – පේරාදෙණිය සහ ගම්පොල අතර සියලුම දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව නතර කෙරේ.
මෙම දින දෙක සඳහා මුදල් ගෙවා ආසන වෙන්කරවා ගෙන ඇති මගීන්ට තමන් ගෙවූ සම්පූර්ණ මුදල ඕනෑම දුම්රිය ස්ථානයකින් ආපසු ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දුම්රිය ධාවනය අත්හිටුවීම හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව ද දෙපාර්තමේන්තුව සිය කණගාටුව පළ කර තිබේ.



