
O/L විභාගයට පෙර සිසුන්ට විශේෂ උපදෙස්–පළමු විනාඩි 5 බුද්ධිමත්ව භාවිත කරන්න
හෙට (17) ආරම්භ වන සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටින සිසුන් අද දිනයේ මනස සැහැල්ලුවෙන් තබා ගැනීම අතිශය වැදගත් බව මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.
රාගම වෛද්‍ය පීඨය හි මහාචාර්යවරයෙකු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වන ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, විභාගයට පෙර දින රාත්‍රියේ නිදි වර්ජනය කරමින් අධ්‍යයනය කිරීම සුදුසු නොවන බවයි. ඒ වෙනුවට ආගමික වතාවත්වල නිරත වීම, සිත සන්සුන් කර ගැනීම සහ ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් බව ඔහු අවධාරණය කළේය.
තවද, මෙතෙක් අධ්‍යයනය කර නොමැති නව කරුණු අවසන් මොහොතේ ඉගෙනීමට උත්සාහ කිරීමෙන් වළකින්නැයි ද උපදෙස් දී ඇත. දැනට සූදානම් කර ඇති විෂය කරුණු නැවත ආවර්ජනය කිරීම පමණක් ප්‍රමාණවත් වන බවද ඔහු පෙන්වා දෙයි.
විභාග ශාලාවේදී ප්‍රශ්න පත්‍රය ලබාගත් පසු පළමු විනාඩි 5 ඉතාමත් තීරණාත්මක කාලයක් වන බවද වෛද්‍යවරයා කියා සිටී. එම අවස්ථාවේ මානසික පීඩනය වැඩි විය හැකි බැවින්, වහාම පිළිතුරු ලිවීම ආරම්භ නොකර, මුලින්ම ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන් කියවා පහසු ප්‍රශ්නයක් තෝරා ගැනීම වඩාත් සුදුසු බව ඔහු සඳහන් කරයි.
එලෙස පහසු ප්‍රශ්නයකින් ආරම්භ කිරීමෙන් සෘණාත්මක පීඩනය අඩු කර, ධනාත්මක මානසික තත්ත්වයක් සමඟ විභාගයට මුහුණ දිය හැකි බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.
”අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට කලින් පළවෙනි වැදගත්ම දේ තමා අධ්‍යයනය කරලා තියෙන පාඩම්වලට අමතරව අලුතින් පාඩම් කියවන්න උත්සාහ කරන්න එපා..කලින් කියවලා තියෙන පාඩම් නැවත අවර්ජනය කරන එක හොඳයි.. විභාගයේ දී ඔබේ මනස නිරවුල්ව පවත්වා ගැනීම සඳහා ගෙදරදී සැහැල්ලුවෙන් ඉන්න උත්සාහ කරන්න..විභාගයට කලින් දවසේ නිදි මරාගෙන පාඩම් කරන එක සුදුසු දෙයක් නෙමේ… හෙට දිනයට අවශ්‍ය පෑන්, පැන්සල් ඔබ සූදානම් කරගන්න.. විභාගයට මුහුණ දෙද්දී පළවෙනි විනාඩි 5 ඉතා වැදගත්.. පළවෙනි විනාඩි පහේ ඔබේ හිතේ පීඩනය ගොඩක් වැඩිවෙන්න පුලුවන් ඒ නිසා පළවෙනි විනාඩි පහේ පළවෙනි උත්තරය ලියන්න උත්සාහ කරන්න එපා.. ප්‍රශ්න පත්‍රය කියවලා ලියන්න පුලුවන් පහසු ප්‍රශ්නයක් තෝරාගෙන තමා විභාගය ලියන්න පටන් ගන්න ඕනේ..”
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.
විභාග මධ්‍යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය



