
වත්තලදී ජීව පතරොම් සහ සිම්පත් සමග පාර්සලයක් සොයාගැනේ
වත්තල ගාල හන්දිය ප්රදේශයේ සිදුකළ වැටලීමකදී ජීව පතරොම් සහිත සැකසහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත ලැබුණු තොරතුරක් මත ක්රියාත්මක වූ මෙහෙයුමකදී අදාළ පාර්සලය සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.
පොලිස් විමර්ශන අනුව එම පාර්සලය තුළ ටී–56 වර්ගයේ ජීව පතරොම් 04ක්, රිවොල්වර වර්ගයේ ජීව පතරොම් 04ක්, පිස්තෝල වර්ගයේ ජීව පතරොම් 02ක් සහ විවිධ වර්ගයේ සිම්පත් 11ක් තිබී ඇත.
අනතුරුව සිදුකළ විමර්ශනයක ප්රතිඵලයක් ලෙස, අදාළ පාර්සලය සඟවා තැබූ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූයේ 35 හැවිරිදි, පොල්පාගොඩ, යක්කලමුල්ල ප්රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු බව පොලිසිය අනාවරණය කරයි.
තවද, මෙම සැකකරුට ගල්නෑව, කල්තොට සහ ඇල්පිටිය පොලිස් වසම්වලට අදාළ අධිකරණවලින් දින වරෙන්තු සහ විවෘත වරෙන්තු නිකුත් වී ඇති බවද අනාවරණය වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පැය 72ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් තවදුරටත් සිදු කරයි.



