අධ්‍යාපන

පෙරපාසල් ගුරුවරුන් 35,000කට නොමිලේ ජාතික පුහුණුවක්

දිවයින පුරා හඳුනාගෙන ඇති පෙරපාසල් ගුරුවරුන් 35,000කට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලේ ජාතික මට්ටමේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

පෙරපාසල් ගුරුවරුන්ට නොමිලේ පුහුණුව අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වෙයි

මුල් ළමාවිය අධ්‍යාපන විෂයමාලා රාමුව පිළිබඳ දැනුම සහ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම පුහුණුව ලබාදීමට සැලසුම් කර ඇත. කිසිදු පෙරපාසල් ගුරුවරයෙකු මෙම වැඩසටහනෙන් මඟ නොහැරීම රජයේ අපේක්ෂාව බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා සඳහන් කළේය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඊට ජාතික අධ්‍යාපන ආයතනයේ මෙන්ම මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ සහාය ද ලබාගැනීමට නියමිතය.

පුහුණු වැඩසටහන අදියර කිහිපයකින්

ජාතික මට්ටමේ පුහුණු ක්‍රමවේදයක් අනුව අදියර කිහිපයක් යටතේ වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ සඳහා ජාතික මට්ටමේ ප්‍රධාන පුහුණුකරුවන් 108 දෙනෙකු සහ පළාත් මට්ටමේ පුහුණුකරුවන් 556 දෙනෙකු පුහුණු කර සූදානම් කිරීමට සැලසුම් කර තිබේ.

මෙහිදී එක් පෙරපාසල් ගුරුවරයෙකු සඳහා දින 10ක පුහුණු කාලයක් වෙන්කර තිබීම විශේෂත්වයකි.

පළාත් මට්ටමින් පුහුණුව ආරම්භ වෙයි

මේ වන විට පළාත් අටක අදාළ පුහුණු වැඩසටහන් ආරම්භ කර ඇති අතර, සබරගමුව පළාතේ වැඩසටහන නොවැම්බර් 11 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සම්බන්ධයෙන් ද මෙම පුහුණු වැඩසටහන තුළ විශේෂ අවධානයක් යොමු කර ඇත.

පෙරපාසල් අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම, විධිමත් විෂයමාලා රාමුවක් හඳුන්වාදීම සහ ගුරුවරුන්ගේ වෘත්තීය දක්ෂතා වර්ධනය කිරීම මෙම ජාතික වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණු බව ද වෛද්‍ය නාමල් සුදර්ශන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button