ප්‍රධාන පුවත්

ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කිරීමට කොළඹ අවන්හල්වලට QR කේතයක්

කොළඹ ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ පැමිණිලි සෞඛ්‍ය නිලධාරීන්ට සෘජුවම

කොළඹ ආහාරවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහනේ ආරම්භක අදියර මේ වනවිට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

ඉදිරියේදී කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම ක්‍රමවේදය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන බව කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සෑම අවන්හලකම අදාළ QR කේතය ප්‍රදර්ශනය කිරීමට නියමිතය. පාරිභෝගිකයන්ට එම කේතය තම ජංගම දුරකථනයෙන් ස්කෑන් කර ලබාදෙන පෝරමය පිරවීමෙන් ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

එලෙස ලැබෙන පැමිණිලි සෘජුවම අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත යොමු කෙරෙන අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් කටයුතු කරනු ඇත.

මෙම ක්‍රියාවලියේදී පැමිණිලිකරුගේ අනන්‍යතාව හෙළි නොවන පරිදි රහස්‍යභාවය ආරක්ෂා කරන බවද කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.

තවද පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු අදාළ අවන්හලෙන් ආහාර භාර නොගන්නා ලෙසත්, සිද්ධියට අදාළ බිල්පත ආරක්ෂිතව තබා ගන්නා ලෙසත් නගර සභාව පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button