උණුසුම් පුවත්

කෙහෙළියට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19ට කල්යයි

කෙහෙළියට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

 

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

 

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19 වැනිදාට කැඳවීමට නියෝග කළේය.

 

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් 990,000ක මුදලක් වැය කර ජී.අයි. (GI) බට 600ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබේ.

 

එම මිලදී ගැනීම දේශපාලන කටයුතු සඳහා සිදුකිරීමෙන් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනු කර ඇත.

 

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් නම් කර තිබේ.

 

නඩුවේ ඉදිරි සාක්ෂි විභාග කටයුතු දෙසැම්බර් 19 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button