
විදුලි බිඳවැටීම ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්
විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අද (17) උදෑසන ඇති වූ හදිසි තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. දිවයින පුරා විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති අතර, සැපයුම කොටස් වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
විදුලි පද්ධතියේ බිඳවැටීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත්, ඊයේ (16) කොත්මලේ විදුලි උත්පාදනාගාරයක ඇති වූ ගැටලුව මේ සඳහා හේතු වූයේද යන්න පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් ඔහු පවසයි.
එමෙන්ම, විදුලි සැපයුම් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට සහාය ලබාදෙන ලෙස වහල මත සූර්ය පැනල සවිකර ඇති පාරිභෝගිකයන්ගෙන් ඒවා තාවකාලිකව විසන්ධි කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබේ.
අදාළ තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“අද උදෑසන ඇති වූ හදිසි තත්ත්වයක් නිසා පද්ධතියේ බිඳ වැටීමක් සිදුවෙලා මුළු දිවයිනටම විදුලිය සැපයීම බාධාවක් ඇති වෙලා විදුලි සැපයුම බිඳ වැටුණා. ජාතික පද්ධති ක්‍රියාකරු හැටියට අපි ඒ මේ වෙනකොට පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. අපි හිතනවා ඉතා ඉක්මනින් කොටස් වශයෙන් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.
එයා වගේම අපි මේ වෙලාවේ විශේෂයෙන්ම වහල මත සූර්ය පැනල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා පද්ධතිය යථා තත්ත්වයට පත් කර ගැනීමට උපකාරී වන ලෙස ඔවුන්ගේ වහල මත සූර්ය පැනල ස්විච් ඕෆ් කරන්න කියලා. අපිට තවමත් ප්‍රධාන හේතුව මොකක්ද කියලා සොයා ගන්න බැහැ. නමුත් අපි මූලික වශයෙන් මේ වෙලාවේ වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන්න.
ඊයේ දවසේ අප කොත්මලේ එක ප්ලාන්ට් එකක ගැටලුවක් පැනනැගිලා ඒ ප්ලාන්ට් එක බිඳ වැටුණා. ඒ නිසා මේ පද්ධතියේ අසමතුලිතතාවය හැදුනද? එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා පද්ධතියේ සමතුලිතතාවය බිඳ වැටුණද කියන එක කරුණු පිළිබඳ අපි සොයමින් ඉන්නවා. නමුත් අපි හිතනවා අපි ඉතා ඉක්මනින් මේ ගැටලුව විසඳන්න පුළුවන්. විශේෂයෙන් එක කොටසක විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට දැනටමත් පුළුවන්කම ලැබුණා. අපි හිතනවා ඒ වගේ කොටස් වශයෙන් මුළු ලංකාවටම ඉතා ඉක්මනින් විදුලි සැපයුම නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්කම ලැබෙයි කියලා.
අදාළ බිඳවැටීමට හේතුව හඳුනාගැනීම සඳහා පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.



