ප්‍රධාන පුවත්

වාහන බද්ද 50%කින් ඉහළ දැමීම ගැන සජිත්ගෙන් චෝදනා

මැතිවරණ සමයේ විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 12කට ලබාදෙන බවට ආණ්ඩුවේ ප්‍රධානීන් පොරොන්දු වූ නමුත්, මේ වනවිට වාහන ආනයනය මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වාහන බදු ඉහළ දැමීමෙන් මිල ගණන් ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශ විහිළු සහගත බව පෙන්වා දුන් ඔහු, මෙවැනි අදහස් ඉදිරිපත් කිරීම වෙනුවට ජනතාවට වාසිදායක අයුරින් ආර්ථිකය කළමනාකරණය කළ යුතු බව අවධාරණය කළේය.

මෙම තත්ත්වයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා ඇතුළු රජය සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

තිස්සමහාරාම වීරවිල පන්නෙගමුව ප්‍රදේශයේ දියබැදි විහාරයේදී පූජ්‍ය මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

රටේ රුපියල ඩොලරයට සාපේක්ෂව අගය පහළ යමින් පවතින බවත්, එමගින් උද්ධමනය වැඩිවී භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවත් ඔහු පැවසීය.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අපනයන ආදායම වැඩි කිරීම, සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම, විදේශ ප්‍රේෂණ වර්ධනය කිරීම සහ සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම IMF සමඟ නව ණය ගෙවීම් එකඟතාවකට නොපැමිණීම හේතුවෙන් රටට වාර්ෂිකව විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති බව සඳහන් කළ ඔහු, විදේශ සංචිත ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ ජනතාවට ජීවන වියදම් පාලනයට අවශ්‍ය සහන ලබාදීම සඳහා රාජ්‍ය මැදිහත්වීම වැඩි කළ යුතු බවද අවධාරණය කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button