
විදේශගත සංස්කෘතික උරුම යළි ගෙන ඒමට නව කමිටුවක්
විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම යළි මෙරටට ගෙන ඒමේ කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යුනෙස්කෝ ප්රඥප්තියට අනුකූලව යටත් විජිත සමයේදී විදේශ රටවලට රැගෙන ගිය ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ සහ කෞතුක වස්තු නැවත මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලිය මෙම කමිටුව මගින් විධිමත් කිරීමට නියමිතය.
‘විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන කමිටුව’ ලෙස නම් කර ඇති මෙම කමිටුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ (සංස්කෘතික ප්‍රවර්ධන සහ විදේශ) ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
යුනෙස්කෝ සංවිධානයේ 1970 සංස්කෘතික දේපළ නීති විරෝධී ලෙස ආනයනය කිරීම, අපනයනය කිරීම සහ අයිතිය පැවරීම වැළැක්වීම පිළිබඳ ප්රඥප්තියේ 7 සහ 13 වගන්ති යටතේ විදේශයන්හි පවතින සංස්කෘතික දේපළ යළි ඉල්ලා සිටීමේ අයිතිය අදාළ රටවලට හිමිව ඇත.
මෙම ක්‍රියාවලියේ පළමු පියවරක් ලෙස 2023 වසරේදී නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර Rijksmuseum කෞතුකාගාරයේ තිබූ ලෙව්වේ දිසාවගේ කාල තුවක්කුව, මහ තුවක්කු දෙකක්, කොපු සහිත කස්තාන දෙකක් සහ කොපු සහිත පිහියක් ඇතුළු වටිනා කෞතුක භාණ්ඩ හයක් ශ්‍රී ලංකාවට නිල වශයෙන් ලබා ගැනීමට කටයුතු කර තිබේ.
ඉදිරියේදී නෙදර්ලන්ත කමිටුව සමඟ කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් සෘජු අදහස් හුවමාරු කර ගැනීමටත්, යටත් විජිත සමයේ විදේශගත වූ ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ යළි ලබා ගැනීමේදී රජයට අවශ්‍ය විශේෂ උපදෙස් ලබා දීමටත් නව කමිටුව මගින් කටයුතු කිරීමට නියමිතය.



