උණුසුම් පුවත්

ලුණුගම්වෙහෙර, අලිකොට ආර සහ මව් ආර ජලාශවල වාන් දොරටු විවෘතයි

ලුණුගම්වෙහෙර, අලිකොට ආර සහ මව් ආර ජලාශවල වාන් දොරටු විවෘත කර අතිරික්ත ජලය මුදාහැරීමට පියවර ගෙන තිබේ.

ජලාශවල වාන් දොරටු විවෘතයි – පහත්බිම් ජනතාවට විශේෂ දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවල පිහිටි ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ යාම මීට හේතු වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් අදාළ ගංගා සහ ඔය ආශ්‍රිත පහත්බිම්වල ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා දැනුම් දෙයි.

**ලුණුගම්වෙහෙර ජලාශය**

කිරිඳිඔය ගංගා ද්‍රෝණියේ පිහිටි ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර තිබේ. ඉන් දොරටු දෙකක් අඟල් 4 බැගින් ද තවත් දොරටු හතරක් අඟල් 6 බැගින් ද විවෘත කර ඇත. ඒ අනුව තත්පරයකට ඝන අඩි 3,000කට ආසන්න ජල ප්‍රමාණයක් කිරිඳිඔයට මුදාහැරෙමින් පවතී.

**අලිකොට ආර ජලාශය**

කිරිඳිඔය ගංගා ද්‍රෝණියට අයත් අලිකොට ආර ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති අතර, එමගින් පිටවන අතිරික්ත ජලය ද මේ වන විට කිරිඳිඔයට එක්වෙමින් පවතී.

**මව් ආර ජලාශය**

මව් ආර ජලාශයේ ද වාන් දොරටු විවෘත කර තිබේ. ඒ හරහා තත්පරයකට ඝන අඩි 1,500කට වැඩි ජල ප්‍රමාණයක් මව් ආර වෙත මුදාහැරෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ජලාශවලින් මුදාහරින ජලය හේතුවෙන් කිරිඳිඔය සහ වලවේ ගංගා ද්‍රෝණිවල පහළ ප්‍රදේශවල ජල මට්ටම් හදිසියේ වෙනස් වීමේ අවදානමක් පවතින බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල සහ ගංගා ආසන්නයේ පදිංචි ජනතාව ජල මට්ටම් ඉහළ යාම පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීම වැදගත් වේ.

එමෙන්ම වාන් දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශය නිකුත් කරන නිල නිවේදන සහ උපදෙස් අනුව කටයුතු කරන ලෙස ද බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button