සෞඛ්‍යය

රෝහල් 11කට නව CT ස්කෑනර්

මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,950ක වියදමකින් අධි තාක්ෂණික CT ස්කෑනර් යන්ත්‍ර 11ක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ආඝාත, පිළිකා, හෘද සහ රුධිර නාල ආශ්‍රිත රෝග ඇතුළු විවිධ සංකීර්ණ රෝග තත්ත්වයන් කඩිනමින් හා නිවැරදිව හඳුනා ගැනීම සඳහා මෙම නවීන උපකරණ මහඟු පිටුබලයක් වනු ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මඟින් රෝග විනිශ්චය සේවා පුළුල් කිරීම සහ වෛද්‍ය පහසුකම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කර ඇත.

ඒ අනුව, කළුතර ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් 128-ස්ලයිස් CT ස්කෑනර් යන්ත්‍රයක් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුත් CT ස්කෑනර් යන්ත්‍රයක් ස්ථාපනය කිරීම මේ වන විට සිදුකර ඇත.

තවද, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, ගාල්ල ජාතික රෝහල සහ කොළඹ දකුණු ශික්ෂණ රෝහල සඳහා රුපියල් මිලියන 640ක පමණ වටිනාකමකින් යුත් නවීන CT ස්කෑනර් 4ක් ලබාදී ඇති අතර, ඒවායේ ස්ථාපන කටයුතු දැනට ක්‍රියාත්මක වේ.

එමෙන්ම කුලියාපිටිය ශික්ෂණ රෝහල සහ දඹුල්ල, නාවලපිටිය, හලාවත හා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල් සඳහා රුපියල් මිලියන 950ක වටිනාකමකින් යුත් නවීන CT ස්කෑනර් ලබාගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද සිදුකෙරෙමින් පවතී.

මෙතෙක් බොහෝ රජයේ රෝහල්වල භාවිතයට ගෙන තිබුණේ 16-ස්ලයිස් CT ස්කෑනර් පද්ධති වන අතර, නව තාක්ෂණික පහසුකම් සහිත 64-ස්ලයිස් හා 128-ස්ලයිස් ස්කෑනර් මඟින් ඉතා කෙටි කාලයක් තුළ උසස් තත්ත්වයේ රූප සහ වඩාත් නිවැරදි රෝග විනිශ්චය ලබාගැනීමේ හැකියාව වෛද්‍යවරුන්ට හිමිවනු ඇත.

මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වලට පමණක් නොව පළාත් සභා රෝහල් ද ආවරණය කරන අතර, ඒ හරහා දුරස්ථ ප්‍රදේශවල ජනතාවටත් උසස් රෝග විනිශ්චය සේවා තම ප්‍රදේශවලදීම ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙම ආයෝජනය නව උපකරණ ලබාදීමකට පමණක් සීමා නොවී කඩිනම් රෝග විනිශ්චය, ප්‍රතිකාර ප්‍රමාදයන් අවම කිරීම, වෛද්‍ය තීරණ ගැනීමේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජීවිත රැක ගැනීම අරමුණු කරගත් පුළුල් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහනක කොටසක් බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button