උණුසුම් පුවත්

රාජ්‍ය සේවකයින්ට බදාදා නිවාඩුව ගැන නව චක්‍රලේඛය නිකුත් කරයි

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන සංචිත පිරිමසා ගැනීම සඳහා රජයේ කාර්යාල පවත්වාගෙන යාම පිළිබඳ නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇති බව සඳහන් වේ.

එහි සඳහන් පරිදි රාජ්‍ය සේවකයින්ට සෑම සතියකම බදාදා දින ලබාදෙන නිවාඩුව හේතුවෙන් එදිනට නියමිත රාජකාරි කටයුතු සතියේ අඟහරුවාදා දිනට යොදා ගැනීමට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම යම් නිලධාරියෙකු බදාදා දින සේවයට කැඳවීම අවශ්‍ය බව ආයතන ප්‍රධානියා විසින් තීරණය කරන්නේ නම්, එම නිලධරයන් සේවයට කැඳවීමට හැකි වන අතර එවැනි අවස්ථාවලදී නිවාඩු දින වැටුප්, අතිකාල දීමනා හෝ හිලව් නිවාඩු ලබාදීමට අවශ්‍ය නොවන බවද අවධාරණය කර තිබේ.

තවද බදාදා දින වසා තබන කාර්යාලවල නිලධරයන් එම සතියේ සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයක සේවයට කැඳවීම අතිකාල ගෙවීම, නිවාඩු දින වැටුප් ගෙවීම හෝ හිලව් නිවාඩු ලබාදීමේ පදනමින් සිදු නොකළ යුතු බවද එම චක්‍රලේඛය සඳහන් කරයි.

කෙසේ වෙතත් සේවයේ හදිසි අවශ්‍යතාවක් මතුවුවහොත් සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දිනයකදී නිලධරයන් සේවයට කැඳවීමට අවශ්‍ය වන්නේ නම්, අදාළ අමාත්‍යාංශ ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ රාජ්‍ය සංස්ථා/ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානියාගේ අනුමැතිය ඇතිව එය සිදු කළ හැකි බවද සඳහන් වේ.

එවැනි අවස්ථාවලදී සේවයට කැඳවන නිලධරයන්ට අතිකාල දීමනා, නිවාඩු දින වැටුප් හෝ හිලව් නිවාඩු ලබාදීමට හැකි බවද චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button