
මීගමුව බන්ධනාගාරය රැඳවියන්ට තාවකාලිකව වසා දමයි
පසුගිය ජූලි 05 සහ 06 දෙදින තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් පසු මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් තවදුරටත් රඳවා තැබීම සුදුසු නොවන බව බන්ධනාගාර පරිපාලනය තීරණය කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ බන්ධනාගාර පරිශ්‍රය මේ වනවිට අපරාධ ස්ථානයක් ලෙස සලකා විමර්ශන කටයුතු සිදු කරන බවයි.
සිද්ධියෙන් පසු බන්ධනාගාර පරිශ්‍රයට දැඩි හානි සිදුව ඇති අතර, විමර්ශන නිලධාරීන්ට ආරක්ෂිතව පරීක්ෂණ සිදු කිරීමට අවස්ථාව ලබාදීම සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන්ගෙන් බහුතරයක් වෙනත් බන්ධනාගාර වෙත තාවකාලිකව මාරු කර යවා ඇත.
එමෙන්ම පවතින බන්ධනාගාරවල රැඳවියන්ගේ සංඛ්‍යාව සහ සුබසාධන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අමතර රැඳවියන් සඳහා සුදුසු තාවකාලික ස්ථාන සකස් කිරීමේ අවශ්‍යතාවක් ඇති වී තිබෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අනුව, මීගමුව බන්ධනාගාරය ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තෙක් තාවකාලික පදනමින් මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍රයන් බන්ධනාගාර කාර්යයන් සඳහා භාවිත කිරීමට නියෝග නිකුත් කර තිබේ.



