
මාස 7කට පසු පොඩි මැණිකේ නානුඔය සිට බදුල්ලට
මාස හතකට අධික කාලයක් අත්හිටුවා තිබූ නානුඔය – බදුල්ල දුම්රිය සේවාව අද (20) සිට යළි ආරම්භ කර ඇති අතර, ඒ අනුව “පොඩි මැණිකේ” දුම්රියද නැවත එම මාර්ගයේ ධාවනය ආරම්භ කර තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ බලපෑම් හේතුවෙන් අඹේවෙල සහ නානුඔය අතර පැරකුම්පුර ප්රදේශයේ දුම්රිය මාර්ගයේ කොටසක් නායයෑමකට ලක්වීමෙන් පසු නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර තිබුණි. එම කාලය තුළ සේවාව ක්රියාත්මක වූයේ අඹේවෙල සහ බදුල්ල අතර පමණි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය සහ පෞද්ගලික අංශයේ සහාය ඇතිව හානියට පත් ස්ථානය සම්පූර්ණයෙන්ම ප්රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකිවී ඇත.
අද පෙරවරු 9.00ට නානුඔය දුම්රිය ස්ථානයේ පැවති සර්ව ආගමික ආශිර්වාද වැඩසටහනකින් පසුව “පොඩි මැණිකේ” දුම්රිය නානුඔය සිට බදුල්ල බලා සිය ගමන ආරම්භ කළේය.
මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා ඇතුළු නිලධාරීන් සහභාගී වූ අතර, ඉහළ දිස්ත්රික් දුම්රිය විධායක ඉංජිනේරු දනුෂ්ක මහතාද එක්ව සිටියේය.
මෙහිදී අදහස් පළ කරමින් ඔවුන් සඳහන් කළේ මෙම වසර අවසන් වීමට පෙර කොළඹ සිට බදුල්ල දක්වා උඩරට දුම්රිය මාර්ගයේ සම්පූර්ණ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.



