ප්‍රධාන පුවත්

විශ්‍රාමික නාවිකයින්ට වෙළෙඳ නැව් රැකියා අවස්ථා පුළුල් කෙරේ

විශ්‍රාමික සහ විශ්‍රාම ගැනීමට නියමිත නාවික හමුදා සාමාජිකයන් වෙළෙඳ නැව් හා සමුද්‍රීය ක්ෂේත්‍රයේ රැකියා සඳහා අනුයුක්ත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, නාවික හමුදා සාමාජිකයන්ට වෙළෙඳ නැව් ක්ෂේත්‍රය තුළ දේශීය හා ජාත්‍යන්තර රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෘත්තීය සහතික සහ නිපුණතා සුදුසුකම් ලබාගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ ප්‍රගතිය මෙහිදී ඇගයීමට ලක්විය. එමඟින් නාවික හමුදා සාමාජිකයන්ගේ විනය, තාක්ෂණික දැනුම සහ සේවා අත්දැකීම් වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා ප්‍රයෝජනයට ගැනීම අපේක්ෂා කෙරේ.

වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ විශ්‍රාමික රණවිරුවන්ගේ කුසලතා සංවර්ධනය, වෘත්තීය සහතිකකරණය සහ තිරසාර ජීවනෝපාය මාර්ග සකස් කිරීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීමයි. ඒ අනුව නාවික සේවයෙන් ඉවත්වන පිරිස් සඳහා ගෝලීයව පිළිගත් සමුද්‍රීය සුදුසුකම් ලබාගැනීමට පැහැදිලි මාර්ග සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

එහිදී නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, පවතින නිපුණතා හා අවශ්‍ය සුදුසුකම් අතර පරතරය හඳුනාගැනීම, ඒ සඳහා විසඳුම් සෙවීම සහ දැනට පවතින නාවික සුදුසුකම් තහවුරු කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

තවද ඉංජිනේරු, විදුලි සහ ආහාර සැපයුම් අංශවල සේවය කළ නාවිකයින් සඳහා වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ ඇති වෘත්තීය අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇත.

මෙම රැස්වීමට නාවික හමුදාපතිවරයා, අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන), වෙළෙඳ නාවික අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙළෙඳ නැව් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button