
මඩකළපුව නව පුස්තකාලය ජනතා අයිතියට
මඩකළපුව මහජන පුස්තකාලයේ නව ගොඩනැගිල්ල අද (20) ජනතා අයිතියට පත් කෙරුණු අතර, එම අවස්ථාවට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ දමිළ ජනතාව තුළ තවමත් පවතින කියවීමේ සංස්කෘතිය අගය කළ යුතු බවයි.
මෙම නව ගොඩනැගිල්ල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරිණි.
අවස්ථාවට අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, පුස්තකාලයක් විවෘත කිරීම යනු සමාජයේ බන්ධනාගාර අවශ්‍යතාව අඩු කරන ක්‍රියාවක් බවයි. එමෙන්ම මෙම නව ගොඩනැගිල්ල දමිළ ජනතාව අතර පොත් කියවීමේ පුරුද්ද තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
කාලයක් අතරමග නතර වී තිබූ ඉදිකිරීම් සාර්ථකව නිමවීම පිළිබඳවද ජනාධිපතිවරයා සතුට පළ කළේය.
මෙම අවස්ථාවට සමගාමීව මහජන පුස්තකාලයේ නිල වෙබ් අඩවියද ජනාධිපතිවරයා විසින් දියත් කරනු ලැබීය.
නව පුස්තකාල ගොඩනැගිල්ල තුළ ළමුන් සඳහා විද්‍යා හා තාක්ෂණික දැනුම ලබාදීම වෙනුවෙන් විශේෂ ඒකකයක්ද ස්ථාපිත කර තිබේ.
අනතුරුව ජනාධිපතිවරයා පුස්තකාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, මහ නගර සභා කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකද නිරත වී ඇත.
එහිදී මඩකළපුව නගරාධිපති කේ. සිවම් පාක්කියනාදන් මහතා විසින් ජනාධිපතිවරයාට සමරු තිළිණයක්ද පිරිනමා තිබේ.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් පුස්තකාල භූමියේ පැළයක් රෝපණය කිරීමද සිදු කළේය.



