
පොලී වැඩි කළේ ණය ඉල්ලුම පාලනයට – නන්දලාල්
ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ අරමුණ වෙළඳපොළේ අධික ණය ඉල්ලුම පාලනය කිරීම බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ, ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ යන විට වෙළඳපොළ පොලී අනුපාතිකද ඉහළ යා යුතු බවයි.
එමඟින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ණය ලබා ගැනීම සීමා කිරීම අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.
ආර්ථිකය මේ වනවිටත් වර්ධන මාර්ගයේ පවතින බව පැවසූ ඔහු, ඉදිරි වාරික දෙක තුළද ආර්ථික වර්ධනයක් බලාපොරොත්තු වන අතර කිසිදු ආකාරයක ආර්ථික හැකිලීමක් අපේක්ෂා නොකරන බව අවධාරණය කළේය.
2022 වසරේදී රට මුහුණ දුන් ආර්ථික අර්බුදය සිහිපත් කළ නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, එම කාලයේ විදේශ සංචිත හිඟය, රුපියලේ අස්ථාවරත්වය සහ ආනයන බාධා හේතුවෙන් ආර්ථිකය සෘණ වර්ධනයකට ගිය බවයි.
එහෙත් 2023 සහ 2024 කාලය තුළ ආර්ථිකය යළිත් වර්ධන මට්ටමකට පැමිණ ඇති අතර මේ වනවිටද වර්ධන ප්‍රවණතාව ඉදිරියට ගෙන යමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, වාහන මිලදී ගැනීම සඳහා ලබාදෙන ණය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ නව බදු හේතුවෙන් වෙළඳපොළේ වාහන මිල කෘතිම ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
එවැනි තත්ත්වයක් තුළ වැඩි ණය මුදලක් ලබා ගැනීමට සිදුවීමෙන් ණය ගන්නා පුද්ගලයාට අමතර ණය බරක් ඇතිවන අතර එය බැංකු පද්ධතියටද අවදානමක් විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
එම අවදානම පාලනය කිරීම සඳහා වාහන ණය සම්බන්ධ අනුපාතය 50% සිට 40% දක්වා පහළ දැමීමට පියවර ගෙන ඇති බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



