ප්‍රධාන පුවත්

බාල ප්‍රමිතියේ ගල්අගුරු නෞකාවක් ගැන නැවතත් චෝදනා

ප්‍රමිතියට නොගැලපෙන ගල්අගුරු තොගයක් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු කලාපයේ නැංගුරම් ලා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ නෞකාවේ පැටවුම් වාර්තාව පසුගිය අප්‍රේල් 30 වනදා ලංකා ගල්අගුරු සමාගමේ නිලධාරීන් සහ බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව වෙත යොමුකර තිබූ බවය.

වාර්තාවට අනුව, දකුණු අප්‍රිකාවේ රිචර්ඩ් බේ කෝල් ටර්මිනල් වරායෙන් මෙරටට පැමිණ ඇති මෙම නෞකාවේ මෙට්‍රික් ටොන් 59,766ක ගල්අගුරු තොගයක් අඩංගු වේ.

එම ගල්අගුරු තොගයේ අළු ප්‍රතිශතය ඒකක 16.8ක් බවත්, ටෙන්ඩරයේ සඳහන් උපරිම සීමාව වූ ඒකක 16 ඉක්මවා ඇති බවත් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පෙන්වා දෙයි.

ඒ අනුව, දඩ මුදලක් යටතේ හෝ එම තොගය මිලදී ගැනීමට ගල්අගුරු සමාගමට හැකියාවක් නොමැති බවද එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳ අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය මහාචාර්ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ, ගල්අගුරු තොගය ප්‍රමිතියෙන් අඩු වුවද නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා භාවිත කළ හැකි බවය.

ටෙන්ඩර් නීතිරීතිවලට අදාළ ගැටලු සම්බන්ධයෙන් මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් සංවිධාන දේශපාලන අරමුණු මත අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button