උණුසුම් පුවත්

ප්‍රේමලාල් ජයසේකර විදෙස් ගතව ඇති බව හෙළිවෙයි

ප්‍රේමලාල් ජයසේකර රටින් පිටව ගිහින්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පැනවීමට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා දිවයිනෙන් පිටව ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව නීතිමය කටයුතු සිදුකිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ සොයාබැලීමකදී මේ බව හෙළි වූ බවයි.

මිනීමැරුම් චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කර මරණීය දණ්ඩනය නියම කර පසුව නිදොස් කොට නිදහස් කෙරුණු ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට විදෙස් ගතවීම වළක්වාලමින් පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

අදාළ විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසද අගවිනිසුරු ප්‍රීති පත්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

එමෙන්ම ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ඔක්තෝබර් 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය නියෝග කළේය.

කෙසේවෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ ප්‍රේමලාල් ජයසේකර මහතා පසුගිය අගෝස්තු මාසයේදී විදෙස් ගතව ඇති බවයි.

එම විදෙස් ගමන සිදුකර ඇත්තේ නැවත දිවයිනට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍රයක්ද වෙන්කරවා ගැනීමෙන් අනතුරුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ පැවති දේශපාලන රැස්වීමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු පිරිසකට එරෙහිව නඩු පවරා තිබුණි.

එහිදී රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණීය දණ්ඩනය නියම කළ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය විභාග කළ අභියාචනාධිකරණය ඔහු ඇතුළු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බව පවසමින් එය බලරහිත කර දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිද්ධියෙන් අගතියට පත්වූ පාර්ශ්වය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට විදෙස් ගතවීම වළක්වාලමින් අදාළ තහනම් නියෝගය නිකුත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button