
ප්‍රජා ශක්ති වැඩසටහනින් නුවරඑළියට රු. මිලියන 997ක සංවර්ධන ව්‍යාපෘති
ප්‍රජා ශක්ති වැඩසටහනින් නුවරඑළියට නව ජීවයක්
දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති 786ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ.
එම ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 997.84කි. ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා ශක්ති ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකාවේ සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතර, ඒ සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබේ.
මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් සංවර්ධන ව්‍යාපෘති 15,646ක් පමණ ආරම්භ කර ඇති අතර, ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 22,425කි.
එම ව්‍යාපෘති අතරින් 8,323ක් හෙවත් සියයට 53.2ක් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා වෙන් කර ඇති අතර, ව්‍යාපෘති 7,323ක් හෙවත් සියයට 46.8ක් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කර තිබේ.
මේ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ සමාලෝචන රැස්වීමක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 263ක් ජීවනෝපාය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 296.19කි.
තවත් ව්‍යාපෘති 286ක් යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා වෙන් කර ඇති දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 543.22කි.
ප්‍රජා ශක්ති වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ස්ථාපිත කර ඇති ප්‍රජා ශක්ති ඒකකවල තාක්ෂණික උපකරණ හා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාද ප්‍රතිපාදන වෙන් කර තිබේ.
ඒ අනුව 2026 වසර සඳහා එක් ඒකකයකට රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් මිලියන 182.5ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති අතර, 2025 වසරේදී ඒ සඳහා රුපියල් මිලියන 365ක මුදලක් ලබාදී තිබේ.
සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කර හැකි ඉක්මනින් ජනතාවගේ අයිතියට පත් කරන ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒවායේ උපරිම ප්රතිලාභ ජනතාව වෙත ලැබෙන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.



